කුජීතම සීන් එකනං රජා ලියන අඩවි කෑල්ල අපේ සයිට් එකේ මහත්තයෙකුට මාට්ටු වීමය. එයාටත් කියලා තියෙන්නේ එයාගේ යාළුවෙක්ලුය. මේ ළගදි මං ගාවටම ඇවිත් මල්ලි ඔයාද සයිට් එක කරන්නේ කියා ඇසුවේය. එදා ඉදන් රජා සයිට් එකට යන්නේ ඇදුම් මගින් ගලවලාය. ඇයි යකෝ... ලියලා තියෙන ඒවයේ හැටියට ඇදුමක් ඇදගෙන ඉන්න පුළුවනෑ... ඒ මදිවට දැන් ඒ මහත්තයා මංතුමා දැක්ක හැටියේ එක එක නම් වලින් අමතමින් හිනා වෙන්නේය.
ආ.... රජතුමා.....
ආ....මං රජා.....
වල් රජා....
මං රජා සයිට් එකේ වැඩ කරන්නේ කම්බි අංශයේ බව දැන් සෑම සියළු ජනී ජනයා දන්නා ප්‍රසිද්ධ රහසක්ය. අපිට කොහේ ගියත් මොකාක් හෝ පොල් ටොපියක් අනිවා සෙට් වෙන්නේය. අනේ ඉතින් මෙහෙදිත් එකේනම් වෙනසක් නැත. රජාට අළුතෙන් ආපු කම්බි බදින ගෘප් එකක් හෙවත් බාබෙන්ඩර්ස්ලා සෙට් එකක් භාර දුන්නේය. අනේ දෙයියනේ....උන් කම්බි තියා මේ ලෝකේ සංසාරයක් දන්නේ නැත. අඩුම තරමේ හෙඩ් බාසුන්නැහෙත් වැඩ්ඩෙක් නෙමේය. ඌත් වෙලාවකට කෙලින්නේ බයිලාය. ගෘප් එකේ නම KKB ය. නමුත් අපි කියන්නේ කක්කා බාබෙන්ඩර්ස්ය. ඒ තරමට උන්ගේ වැඩ සුපිරිය. කම්බිය ගැට ගහන තැන ළකුණු කරලා එතනින් ගැටගහපන් කියලා ගිහාම ගැට ගහන්නේ වෙන තැනකය.
රජාටත් එක්ස්පීරියන්ස් එකක් නැති නිසා එකපාරට වැරදි ක්ලික් වෙන්නේද නැත. උන් කියන දේ හරියට නොකරන නිසා එක එකාගෙන් කතන්දර අහන්න වෙලා තියෙන්නේ මටය. උන් දැන් දවස් දෙක තුනක්ම වැරැද්දුවේය. අනික වැඩ කරන්නෙත් හෙමින්ය. පළවෙනි වැරැද්ද මීට හරියටම මාසෙකට කලින්ය. ලින්ටල් බීම් එකක උස මිලි 100ක් වැඩිපුර තියලා මුන් බැන්දේය. ඒ රජා සයිට් ගත වූ මුල්ම කාලෙදිය. ඒ නිසා කවුරුවත් මට බැන්නේ නැත. නමුත් මෙහෙප කරපන්.... මෙහෙම බලපන් කිය කිය උපදෙස් දෙන්නේය. ඒක බැනුම් ඇහුවාට වඩා හිතට වදින්නේය. පොළව හාරගෙන හාරගෙන හාරගෙන වැළලෙන්න හිතෙන්නේය.
මංතුමා ළග හිටියත් වරද්දන එකේ ළග නැතිකොට කවර කතාද? රජා දවස් දෙකක් නිවාඩු ගත්තේය. ඒ නිවාඩු දවස් දෙකේ මුන් ටික පඩිපෙලේ කම්බි වැඩ කරලා තිබුනේය. මම මොකුත් දන්නේද නැත. එදා මුන් තව හද්ද වැරුද්දක් කරලාය. බැදපු බීම් ඔක්කොම තැන් තැන් වල වැරදිය. පහුවදා මම එනකොට එකම ගූ හැලියය. ඒ මදිවට වටේ කම්බි බැදපු උනුත් වරද්දලාය. කෙසේ හෝ එහෙන් මෙහෙන් ගොඩ දාගෙන වැඩේ ඉවර කරනකොට පෙරහැර ගිහිල්ලා ඉවරය. බලන්න ආපු උනුත් ගිහිල්ලාය. වඩේ විකුණන්න ආපු උන් දෙන්නෙක් හිටියා වගේ මතකය.
ඒකෙන් මෙකෙන් උනේ ෂෙඩූල් කරලා තිබ්බ දවසට වැඩිය දවසක් කොන්ක්‍රීට් එක පස්සට යාමය. ප්‍රොජෙක්ට් මැනේජර් මහත්තයාට හෙන අප්සට්ය. උදේම තියන සයිට් මීටිමේදී මගේ රෙදි ගැලෙව්වේය.
දැන් බලන්න... ස්ටෙයාකේස් එකේ කොන්ක්‍රීට් එක අපිට දවසක් පස්සට දාන්න උනා.. ඇයි එහෙම උනේ?
කම්බි වරද්දලා මහත්තයා
ඒ මොකද ඒ? කවුද එතන කම්බි බලපු මහත්තයා?
රජා කියලා මහත්තයෙක් තමයි බැලුවේ..
කෝ රජා මහත්තයා?
තාම ඇවිල්ලා නෑ....
මම එදා මොකද්දෝ වෙලාවකට සයිට් එකට ආවේ පරක්කු වෙලාය. මේ කතාව යද්දී මම පිටීමපස්සට වෙලා හැංගිලා සිටියෙමි. ඇත්තටම ගත්තොත් අවුල් ගිහින් තියෙන එක කම්බියක් බැදපු තැනක මම හිටියේ නැත. ඒත් ස්ටාෆ් එකේ ලොකු ලොකු මහත්තුරු කලේ මේ පොඩි එකාගේ නම විකුණලා තමන්ගේ ඇග බේරාගත්තු එකය. හේතුව ඒ ගෘප් එක බලන්නේ රජා වීමය.
එදා හවස ස්ටාෆ් මීටින් එකය. ඒකෙත් මේ කතාව ඇදුනේය.
කවුද එතන කම්බි බැලුවේ?
හරියට හරි... පසුපස කලාපයේ ඉදගෙන සිටි මට හීන් දාඩිය දැම්මේය. ගලනාල, බල නහර, සිරා ධමනි ඔක්කොම හිර විය. කරකියාගන්න දෙයක් නැති විය. කුණු බැනුම් අහන්න හිත හදාගෙන බල්ලා වගේ, ක්ෂණිකව නැගී සිටියේය. රජාගේ මුහුණේ වූ අහිංසක ලීලාව රැස්ව සිටි පිරිසගේ ඇස් කදුලින් තෙත් කලේය.
මීට කලින් කම්බි බලලා තියෙනවද?
වචනයක්වත් කතා නොකර හිස දෙපැත්තට වැනුවා වගේ මට මතකය. ආයේ ඉදගන්නවාත් යන්තමට මතකය. ඊට පස්සේ ගෙනාපු කිරි තේ එක බිව්ව එකනං ලෙසටම මතකය.
එක්ස්පීරියන්ස් අඩු එක්කෙනෙක් වැඩට යොදවපුවාම අපේ මහත්තුරු එතන ගිහින් බලන්න ඕනේ... නැතුව එයාලට තාම තේරුමක් නෑනේ.
අන්න ඒ වචන ටිකෙන් රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේය. තව ටික වෙලාවක් එතන හිටියානම් සුදු රුධිරාණු වැඩි වෙලා ලියුකේමියාව හැදිලා එතනම සොට්ටපොච්චි වෙන්නේය. මට එවෙලෙම පී.එම් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වදින්න හිතුනේය.
මට ස්ටාෆ් එකේ එක ගොබ්බයෙක්ට ප්‍රසිද්ධියේ බැනීමේ අවශ්‍යතාවයක් දැඩිව ඇත. ඒත් ඒක තවම කරන්න බැරිය. හේතුව මට ට්‍රේනින් එක ඉවර කර ගත යුතු නිසාය. නමුත් වෙලාවට ගේම ගැසිය යුතුය. පොර හිතාගෙන ඉන්නේ මිනිහා හෙන ලෝඩ් කියලාය.
තව ටික දවසකින් අව්වේ කට්ට කාපු කාලේ නිමා වෙන්නේය. රජාගේ දැඩි ඉල්ලීම පරිදි කන්ස්ට්‍රක්ෂන් මැනේජර් මහත්තයා, රජාව හා ගවේෂකව ෆිනිෂින් සෙක්ෂන් එකට මාරු කර දෙනවා කීවේය. ඒ කියන්නේ රෝස් කරපු කුකුළා වගේ ඉන්න රජා තව ටික දවසකින් කලින් තිබූ සුදු පාටට එන්නේය..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!