Showing posts with label රජමහා විහාර. Show all posts
Showing posts with label රජමහා විහාර. Show all posts

Friday, September 13, 2013

පව්කාරයෙකුගේ සේනාසනාගමනය - නාවිමන ආරණ්‍ය සේනාසනය | Nawimana Forest Monastery


සාමාන්‍යයෙන් අපේ ගෙදර කට්ටියට කොහෙන් හෝ මාස දෙක තුනකට සැරයක් නම් දානයක් සෙට් වෙනවාමය. ඔය වැඩකටයුතු අස්සේ රජාත් පස්සෙන් දුවන්නේ දානෙට උදව් කරන්නම නෙමේය. බඩ පැලෙන්න දානේ කන්නය. දානේ කාලා කාලා ඌරා වගේ මහත් වෙලා ආයේ සති ගාණක් නිරාහාරව ඩයට් කරන්න සිදුවීම වෙනම කතාවක්ය. ඒත් කන්න තියෙන වෙලාවට බුරිය උල් වෙන්න කන්න ඕනෑය. ඔන්න ඔය තියරිය මත පැලපදියම් වීම හේතුව මතම එදා තරුපහේ හෝටලේකුත් දින කීපයකට බංකොලොත් උනේය.

මේ පාර දානේ දෙන්න යන්නේ හෙන නම අහලා පුරුදු පන්සලකටය. ඒත් මතකේ හැටියටනම් මීට කලින් එහෙ ගිහින් නැත. එහෙන් මෙහෙන් කටින් කොනින් ආරංචිය ආපු හැටියට නම් මේක ආරණ්‍ය සේනාසනයක්ය. හහ්..... ගහක්, ගලක්, කන්දක්, කැලයක් කිව්වොත් ඉතින් අපි නවතිනවද ගෙදර???? ඉම්පොසිබල් යා....ර්!!! :D

මේක එසේමෙසේ පොඩි සේනාසනයක් නොවේය. අක්කර 50කට කිට්ටුවෙන්න පිහිටි භූමි භාගයක්ය. පිහිටලා තියෙන්නේ විලිකුලාකන්ද වන රක්ෂිතයේය. වරකාපොලින් අඹේපුස්ස කෑම්ප් එක පැත්තට කිලෝමීටර් 2ක් විතර එනකොට රක්ෂිතේ දැකගන්න පුළුවන්ය.කැලේ පටන් ගන්න තැනින්ම තියෙන පාරෙන් හැරිලා ආරාමෙට යන්න පුළුවන්ය. යනවා කිව්වට එහෙමත් ලේසියෙන් යන්න බැරිය. කන්ද තියෙන්නේ මේමය. මේම කිව්වම හිතාගත යුතුය. හපුතලේ කන්ද දැකලා බඩ දෑවේ ගොනාගේය. මේ කන්ද දැකලා බඩ යන්නේ ඩීමෝ බට්ටන්ටය. මේක ඩීමෝ බට්ටා අද්දන්නේ නැති දාර කන්දය. ඒයව් අස්සේ දහඅට වංගුවේ වගේ වැලමිට වංගු දෙකක්ද තුනක්ද තිබ්බේය. 

මෙතනින් ඇතුලට
විලිකුලාකන්ද රක්ෂිතය


පාර දිගේ
රාජ බූම් එක සුපිරි ටර්බෝ භාණ්ඩේ හින්දා ගින්නක් නැතුව කන්ද ඇදගෙන සෙනසුනට ආවේය. හම්මා...සුපිරිය. අම්බානට වහින්නේය. කැලේ අස්සෙන් එන වතුර පාරවල් හැම තැනමය. ඒ අස්සේ හුලං පාරත් එක්ක එන සීතල උහුලන්න බැරිය. නිකන් නුවරඑළි ගිහින් වගේය. කවදාවත් නැතුව අඹේපුස්සෙදි කන්දෙකත් අගුල් වැටිලාය. වෙලාව හවස 6ට විතර වෙන්නට ඇත. සීතල උහුලන්නම බැරි තැන කට්ටියට කෝපි හැදීමේ භාරදූර කාර්යය කිරිඅම්මා විසින් භාරගත්තාය. රජා සමාන්‍යයෙන් මේ වගේ ගමන් එන්නේ කන්නමය. එක කෝපි එකක් ඉවර වෙනකොට තව එකක් ආදී වශයෙන් කෝපි කෝප්ප 5ක්වත් නම් මම බොන්න ඇත. හෙට උදේට සිදුවන විපැත්තිය ගැන මෙලෝ සිහියක් මට නැත. ඒ තරමට සී.........ත........ල....ය!!!

8-9 වෙනකන් යෙදී තියෙන්නේ ධර්ම සාකච්ඡාවය. මොන පින් වැඩේ කලත් බණ අහන එක තරම් (ගාථා කියවන එක නෙවේ... බණ) අකමැති වැඩක් මට ලොවෙත් නැත. ඕකට අපේ මව්තුමිය කියන්නේ “ඕවා හදන්න බෑ...තමුන්ගෙ තියෙන පව්කාරකම කියලාය“ බොහොම අමාරුවෙන් පැයක් වාඩි වෙලා හිටියේය. අන්තිම පැය බාගේ නම් මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්නය. ආච්චිලා සෙට් එක හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්න ඇහුවම මට සසර කලකිරුනේය. අම්බෝ.... මේ ආච්චි අම්මලාට තියෙන්නේ මහා දැවෙන ප්‍රශ්න කන්දරාවක්ය. මට පොළවේ තිබ්බ ටයිල් කාගෙන කාගෙන යන්න තරම් මෙව්වාය. ඒ ප්‍රශ්න අහන හාමුදුරුවන්ටත් හිනා යන්නේය. අපි ගැන කවරනම් කතාද? ඕවා එක එක වයස් වල වැරදීන්ය.

බුදු කුටිය
බණ අහලා ඉවර වෙලා ක්ෂණික කුස්සියට ගිහින් බත් බෙදාගෙන කෑවෙමු. දැන් තියෙන්නේ මහ කැලේ නයිට ගහන්නය. හෙන ගහන සීතලේ වකුටු වෙලා නිදාගත්තෙමු. ඒ අස්සේ කොහෙදෝ හිටපු පූස් පැටියෙක් අපි අස්සේ කැරකෙන්නේය. බැරිම තැන සෙනසුනේ කැපකාර මහත්තයා ඌව එලවා දැම්මේය. 

පසුදින උදෑසන හා දවල් දානේ දෙකම අපිටය. උදේ දානේ 6 වෙනකොට තියන්න ඕනෑය. රජා ඉතින් සුපුරුදු පරිදි ඇහැරෙනකොට 7ත් පහුවෙලාය. ඇයි අප්පා සීතලට ෂෝක් එකට නින්ද යනවාය. කොහොමහරි දවල් දානේ දීලා ඉවර වෙන්න කලින් ඇහැරුන එක ගැන මට ඇත්තේ මහත් සතුටක්ය. නැත්තන් ඉතින් අම්මාගෙන් කනක් ඇහිලා ඉන්න නැත. 

අප්පට සිරි... අදින්න ගෙනත් තියෙන්නේ එදා අර පිස්සෝ එක්ක මාලිගා ගල ගාව පිට්ටනිය බෝල ගහන්න ඇන්ද ගල් ෂෝටය. තනිකර තුත්තිය විමානයක්ය. කරන්න දෙයක් නැත. හදිස්සියට දාගත්තම ඔහොම ඒවා වෙනවාය. 10ට හාමුදුරු කෙනෙකි බණට වැඩියේය. 11 බණ ඉවර කලේය. ඒ වෙනකන්ම රජා කලේ කලිසමේ තුත්තිරි ගලවපු එකය. කොච්චර තුත්තිරි තිබ්බාද කිවහොත් බණ අවසානයේ මං වටේ පොළවට හිම වැටිලා වගේය. 

දනට වඩිමින්
කැලේ ඉන්න වදුරු සේනාවනම් පට්ටය. ගාණට දානේ වෙලාවට එතනය. එතකොට කැපකාර ඩයල් එක කරන්නේ උන්ට කැටපෝලෙන් ගල් විදින එකය. රජා සමග යුව රජ පොරට ගල් සැපයුවේය. ඒකත් ආතල් රස්සාවය. එකසැරයක් රිලවෙකුගේ බඩට බොක් ගාලා ගලක් වැදුනේය. කැපකරු ඩයල් එකට පට්ට හැපිය. කට කනේය. මං හිතන්නේ මෙච්චර කාලෙකට විදපු ගලක් රිලවෙකුට වැදුනාමද කොහෙදය. මූ ඒක විනාඩි 5ක් විතර කියෙව්වේය. ඒකනං රිදෙන්න ඇති.... බඩටම වැදුනා නේ.... ආයේ එන්නේ නෑ පැත්ත පලාතේ. මගේ කන් දෙකත් රිදෙන්නේ මුගේ වරුණාව අහලාය. 

කැටපෝල පාරවල්
අයියේ කන්න දෙයක්???
අන්තිම වශයෙන් අපි කැලෑ පාර දිගේ භාවනා කුටි තියෙන පැත්ත බලන්න ගියෙමු. මටත් ඒ වගේ කැලයක් මැද්දේ ගෙයක් හදන්න මාර ආසාවක් පහල උනේය. ඇයි අප්පා වැහි කාලෙට එහෙම මරුය. හතර වටෙම පෙනෙන්නේය. ගස්වලින් පොඩි බාධාවක් ආවාට අස්සෙන් එහෙන් මෙහෙන් එබුනාම හොද වීව් එකක් හොයා ගන්න බැරිකමතුත් නැත්තේම නැත.

තහනම්!!


වෙහෙර වහන්සේ

සොයාගත් දර්ශනය

කැලේ ඇතුලෙන්

ප/ලි: 

පුරා දවස් එක හමාරක් සෙල්ලම් කරමින් අපේ පාළු මැකූ පූස් පැටියා ආදරයෙන් සිහිපත් කරන අතර කැලේක හිටියට සතෙක් දැක්කා කියන්නවත් අවසාන මොහොතේ ගහක් දිගේ බඩගාගෙන කඩා පාත්වූ මුදු කරවලාට මාගේ ප්‍රණාමය. (ඌ නම් පට්ට ගති!!!)


මේකා ගසුත් යනවා
වතුර පාරවල් අස්සේ රිංගන්නට ගොස් කිහිප වතාවක්ම ලෙස්සා බිම ඇදවැටුන යුවරජාගේ පස්චාත්බාග වේදනාව ඉක්මනින් සුව වේවා!!!

වතුර පාරක් පේන්න බෑ....
අඹේපුස්ස දුම්රිය ගේට්ටුව හදපු උත්තමයා ආදරයෙන් සිහිපත් කල යුතුය. කෝච්චිය එන්න පැය කාලකට විතර කලින් ඉදන් ටං ටිං ගගා බෙල් එක වදින්නේය.  ගේට්ටුව ලගම වාහනේ නවත්තන් ඉදලා මේ පෝස්ටුව ලියන වෙලාවෙත් නිකන් ටං ටං ගාලා සද්දයක් කන ඇතුලෙන් ඇහෙනවා වගේය. 


බැරිම තැන පියරජ: කෝච්චිය තව මරදානේ.... මෙහෙ බෙල් වදිනවා!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, August 20, 2013

හිරිමල් එතනා සොයා කළුන්දාවට ගියෙමු (අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව)

අපේ අප්‍රසිද්ධ රජමහා විහාර ප්‍රොජෙක්ට් එක නිවාඩු හිගතාවය මක එහෙන් මෙහෙන් කූරියා ගැහුවේය. නමුත් මේක එහෙමත් විනාස වී යන්නට ඉඩදිය නොහැකිය. වෙනදට යන එකෙක්වත් අද ආවේ නැත. මම අපේ යුව රජ මලයා සමග ගමන ආරම්භ කලෙමි. 

දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන වැඩි විස්තරයක් කියන්න අවශ්‍ය වන්නේ නැත. මේක කියවන හුග දෙනෙක් සිරි පැරකුම් ෆිල්ම් එක බලන්නට ඇත. රජතුමාගේ කුඩා කාලය ගෙවුන හැටි, අගබිසව වෙච්චි ගෑණූ දරුවා සෙට් උන හැටි එහෙම අගේට ෆිල්ම් එකේ ඇත. පොළොන්නරු රාජධානියේ බිදවැටීමත් සමග ලංකාවේ ඊලග රාජධානිය උනේ දඹදෙණියය. රජාගේ බොක්කේ සෙට් එක රජ ගෙදර සවාරිය වෙලාවේ දඹදෙණි රාජධානියේද සංචාරයකට එකතු උනේය. දෙවන පැරකුම් රජතුමාගේ මාලිගාව හදලා තිබ්බ මාලිගා ගල එහෙම බලලා ඒ ලගම තිබ්බ පිට්ටනියක ක්‍රිකට් එහෙම ගහලා ෆුල් ෆන් දවස් දෙකක් අහවර කලෙමු. 


කළුන්දාව ගම මැදින්
පරාක‍්‍රමබාහු කුමාරයාගේ ළමා කාලය ගෙවූ කළුන්දාව නම් ගමේය. ඔහු එහි හැදුණේ ගම්පතිගේ නිවසේ දාසයකු ලෙසය. අප්පුවා ලෙස නම් ලද පරාක්‍රමබාහු කුමාරයාට පෙම් කරන්නට ගම ගෙදර වැඩිමහල් දියණියවූ කළු එතනා පැකිලුනාය. ආඩම්බරවූ ඇය ඉබේ කඩාපාත්වූවකු ලෙස සැලකූ අප්පුවාට පෙම් කරන්නට උත්සාහ නොකළාය. කුමරුට අනුකම්පා කළේ බාල දැරියවූ හිරිමල් එතනාය. 

අවසානයේ විජයබාහු රජතුමා පරලෝ සැපත්වූ පසු මගුලැතු සරසවා වීදි සංචාරය කරවූ අවස්ථාවේ මගුලැතු කුමරු සොයා ආවේය. කුමරා හිරිමල් එතනා සමග රජවාසලට යාමට ඇතුපිට නැංගේ මන්ද කළු පින් නොකළේ යි කළු එතනාට කියමිනි. මන්ද කළු පින් නොකළේ යන කියමන පසුකාලීනව කළුන්දාව පින්නපොලේ වූ බව ජනවහරයි. කළුන්දාවට ළඟම ගම පින්නපොල නමින් අදද එහි වෙයි.

අපි ගම වටේම ඇවිද්දෙමු. බලන බලන අත වෙල් යායවල්ය. මෝටර් සයිකලේ පැදගෙන යන අපේ මූණ බල බල ගැමියන් සිනාසුනේය. අපි ගමේ උන් නොවන බව උන් සහසුද්දෙන්ම දන්නේය. පරාක්‍රමබාහු කුමාරයා කොයිතරම් ලස්සන ලමා කාලයක් ගෙවන්න ඇත්ද යන්න අදටත් එහි යන ඕනෑම කෙනෙකුට සිතාගත හැක. මන්ද  ඒ ගම්මානය අදටත් ඒ තරමට ලස්සනය. ඒ ඇවිදිල්ල අතරමැද කළුන්දාව පන්සලටත් ගොඩ වදින්නට අපි අමතක නොකලෙමු. 








කොහොමින් කොහොම හරි දැන් මේ ගම්මානය මැද්දෙන් කටුනායක-යාපනය අධිවේගී මාර්ගය ගමන්කිරීමට නියමිතය. අදියර හතරක් යටතේ මාර්ගය ඉදිකෙරේ. අපේ පැත්තේ කට්ටියට දම්පෑලැස්ස පිවිසුමෙන් නුදුරේදීම අධිවේගී මාර්ගයට පිවිසීමේ අවස්ථාව උදාවෙනු ඇත. සමහරවිට ලංකාවේ හිටියොත් රජාද පාර හදන්නට සෙට් වීම වැලැක්විය නොහැක. පාරේ යන උන් පරිස්සමින් යා යුතු වෙනු ඇත. 

ගමන්මාර්ගය: 

ගිරිගුහාරමයට යන පාරමයි. බාර් එක ගාවින් හැරිලා කිලෝමීටර් 1 1/2 ගිය තැන හම්බෙන බස්හෝල්ට් එකෙන් වමට තියෙන පාර කෙලීන්ම කළුන්දාවට. 
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, May 13, 2013

කෝඳුරුවාපොල ටැම්පිට විහාරය (අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව)

අප රටේ විහාරස්ථාන අතර ටැම්පිට විහාර වාස්තු විද්‍යාත්මකව ඉමහත් වැදගත්කමක් හිමිකර ගනී. කුරුණෑගල දිස්ත්‍රික්කය මහනුවර යුගයට අයත් එවැනි ටැම්පිට විහාර රාශියක් දැකිය හැකි ප්‍රදේශයකි. එහෙත් ඒ අතරින් වැඩි විහාර ප්‍රමාණයක සිදුව ඇති පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා පෞරාණික අගය හීනවී ගොසිනි.මේ අතරින් කෝඳුරුවාපොල විහාරය වැදගත් වන්නේ එය පුරාවිද්‍යාත්මක අගය සුරැකුණු රක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් නිසා ය. මෙය ඉදිකරවූ බව සඳහන් වන්නේ මීගස්තැන්නේ අදිකාරම (දුම්බර නිලමේ) විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස විසූ මෙම අදිකාරම විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළේ ටැම්පිට විහාර රාශියක් ඉදිකරවන ලද බව හෝ පිළිසකර කරවන ලද බව සඳහන් වේ. ඔහු නැවතී සිටි බව සඳහන් වන්නේ කුලියාපිටිය කෝන්ගහගෙදර ගමේ ය.

ගමන් මාර්ගය

කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ පැමිණ නාරම්මල සිට කි.මී. 10 ක් පමණ ගොස් ගණන්ගමුව හන්දියෙන් වමට හැරී තවත් කි.මී. 2ක් ගමන් කළ යුතු ය. 



කෝඳුරුවාපොල යන නම ඇති වූ අන්දම පිළිබඳව ප්‍රදේශයේ පැතිර ඇති ජනප්‍රවාදයක් නම් පුරාණයේ විහාරය ඉදිකර ඇති ගල්තලාව මත මැති ඇමතිවරු රහස් සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ නිසා එයට කෙඳිරුම්පොල යන නම ලැබී ඇති බවත් පසුව කෝඳුරුවාපොල වූ බවත් ය

තවත් ජනප්‍රවාදයකට අනුව ගමේ පිහිටි මසුරන් කෝට්ටේ නමින් හැඳින්වෙන වැව (මේ වැව මෑතක දී ප්‍රතිසංස්කරණය කර තිබේ) හා ටැම්පිට විහාරයේ ආරම්භය අතර සම්බන්ධයක් පවතී. වැව ඉදිකරන සමයේ වැව් බැම්ම කෙතරම් ශක්තිමත් අයුරින් ඉදිකළත් කිහිප වරක්ම කැඩී යන්නට පටන් ගෙන ඇත.


නැකත්කරුවකු එයට හේතුව ලෙස පවසා තිබෙන්නේ වැව තැනීම ආරම්භ කළ නැකත අසුභ බවත් එය මඟ හැරීම සඳහා ගමේ ගල් තලාව මත විහාරයක් ඉදිකළ යුතු බවත් ය. ඒ අනුව ගල් තලාව මත අදිකාරම විසින් විහාරය ඉදිකරවා එහි වැවට නෙත් යොමු වන සේ හිඳි බුදු පිළිමයක් නිර්මාණය කරවා තිබේ. ඊට පසු වැව තැනීමේ වැඩ කටයුතු සාර්ථක වූ බව එම ජනප්‍රවාදයේ පැවසේ. කෝඳුරුවාපොල විහාර භූමියට පිවිසෙන විටම පර්වතය මත පිහිටා ඇති ටැම්පිට විහාරය ධර්ම ශාලාව සහ නව විහාරය අප නෙත ගැටේ. නව සංඝාවාසය පිහිටා ඇත්තේ පහල බිමේ ය. පර්වතය හරහා ගමන් කර විහාර මළුවට පිවිසීමට මෑතක දී වාහල්කඩක් සහිත මාර්ගයක් සකසා තිබේ.










විහාරය ඉදිකර තිබෙන්නේ පර්වතය මත සිටවූ අඩි 2ක් පමණ උස ගල්ටැම් 11ක් මත ය. පර්වතය සමතලා කර ගැනීමට පදනමක් ඉදිනොකර සෘජුවට කලුගල් ටැම් ඒ මත සිටුවා තිබේ.

පර්වතයේ ස්වරූපය අනුව ගල්ටැම්වල උස වෙනස් වේ. ඒවායේ ඝනකම ද එකිනෙකට වෙනස් ය. විහාරයට පිවිසීමට ඉදිරිපසින් කලුගල් කුට්ටි යොදා පියගැට පෙළක් නිර්මාණය කර ඇත. 

විහාරයේ ඉදිරිපසින්ම ඇති උළුවස්ස අලංකරණවලින් තොර ය. ඊට පසු හමුවන දෙවන උළුවස්ස සහිත බිත්තිය මකර තොරණකින් අලංකාර කොට තිබේ. චන්ද්‍ර වංකය සහිත චාම් උළුවස්ස පළල අඩි 3ක් සහ උසින් අඩි 5 අඟල් 4 ක් වේ.මෙහි පිහිටි මකර තොරණෙහි කීර්තිමුඛය කැඩී විනාශ වී ඇත. දෙපසින් කඩු අතින් ගත් දොරටු පාල රූප දෙකකි. මකරා මත දේව රූප නිර්මාණය කර ඇත. මකර තොරණෙහි සායම් මැකී ගොස් තැනින් තැන තීන්ත මතුවී පෙනේ.





ප/ලි: 

අප එහි වන්දනාවේ යෙදුනේ පෝය දිනක නොවේය. පන්සලේ කිසිවෙකුත් අපිට මුණගැසීමට නොහැකි විය. එබැවින් ටැම්පිට විහාරය ඇතුලත ඡායාරූප ගැනීමටවත් වැඩිදුර විස්තර සොයා ගැනීමටවත් නොහැකි විය. නැවත වරක් එහි සංචාරයේදී අනිවාර්යෙන්ම ඡායාරූප මෙහි අප්ඩේට් වනු ඇත. 

අතීත කතාවේ විස්තර ගත්තේ බුදුසරණ පත්තරේ ලිපියකිනි.

ටැම්පිට විහාර යනු මොනවාද?

ටැම්පිට යන වචනයෙන් ම අරුත් ගැන්වෙන පරිදි ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් යන්න මින් අදහස්‌ වේ. බොහෝ විට සිදුවන පරිදි මෙම කුළුණු ගල් ටැම් විය. 

දිස්‌ත්‍රික්‌කය හා ටැම්පිට විහාර සංඛ්‍යාව

                                


කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම ටැම්පිට විහාර සොයා යාම අපගේ අභිප්‍රාය වේ. 

විස්තර උපුටා ගැනීම මෙන්ම, වැඩිදුර විස්තර මෙතනින්.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, May 4, 2013

රහතුන් වැඩි රෑනගල (අප්‍රසිද්ධ රජමහා විහාර ගවේෂණය) - Renagala Temple

අප්‍රසිද්ධ රජමහා විහාර ගවේෂණය යටතේ අපේ මීලග නැවතුම උනේ අලංකාර වට පිටාවකට හිමිකම් කියන ගල්තලාවක් මත පිහිටි රෑනගල රජමහා විහාරයයි. 



ගමන් මාර්ගය

A6 පාර 
අලව්ව පොල්ගහවෙල අතර යාන්ගල්මෝදර හන්දියෙන් හැරී (මහමෙව්නාව ප්‍රධාන අසපු මාර්ගය) කිලෝමීටර් 8ක් පමණ ගමන්කරන්න. හමුවන හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් 1ක් ගියතැන,

A5 පාර 
ගිරිඋල්ල නාරම්මල අතර දම්පෑලැස්ස හන්දියෙන් හැරී කිලෝමීටර් 4ක් පමණ ගොස් රෑනගල හන්දියෙන් වමට හැරී කිලෝමීටරයක් ගිය තැන,

කුරුණෑගල පොතුහැර හරහා වදාකඩට පැමිණ එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ ගිය තැන රෑනගල රජමහා විහාරය හමුවේ.





රෑනගල පිහිටා ඇත්තේ පැරණි රජ මාර්ගයක සුප්‍රසිද්ධ සන්ධිස්ථානයකය. සිරිවර්ධනපුරයට, අනුරාධපුරයට, කුරුණෑගලට හා කන්ද උඩරටට විහිදි මාර්ග මේ අසලින් වැටී ඇත. කෝට්ටේ 4වන පැරකුම්බා රජ දවස යාපා පටුන ජය ගැනීම සදහා සපුමල් කුමාරයා ගියේද මේ රෑනගල අසල මාර්ගයේ බව වංශකතාවල සදහන්ය. එහි යන අතර රෑනගල විහාරයද වැද අතරමග තිබූ මුගුනු ගසකට දුන් කඩු පහරක් මෑතක් වන තුරුම වදාකඩ පාරේ “සරක්කුව“ නම් ස්ථානයක දක්නට ලැබුණි. 

මෙම විහාරයට රෑනගල යන නම යෙදෙන්නට හේතු වූ කාරණය නම් විහාරයේ බෝධීන් වහන්සේ අසල සිට චෛත්‍යය දක්වා ගල් තලාවේ පිහිටි සුදු පැහැති රෑනක් බදු ලකුණක්ය. මේ ගල්රෑන උසින් අගල් දෙක තුනක් වේ. 

ගල මුදුනේ දාගැබට යාබදව ගලෙහි සැදි ලිදකි. එය නිධන් වලක් ලෙස සැලකේ. ගල් ලිදෙහි බිත්ති මනාව කපරාරු කල බිත්තියක මෙන් ඔපමට්ටම්ය. එහි ඇතුළු තැනක බ්‍රාහ්මීය අක්ෂරද ඇති බව කියැවේ. මෙය පුරාවිද්‍යා අධ්‍යයනයකට යොමු කලහොත් තවත් විස්තර අනාවරණය වනු ඒකාන්තය. මෙම නිධන් වලෙහි වස්තුව කවර කාලයක කවරෙකු විසින් ගත්තා දැයි සදහන් කිරීම අපහසුය. 



දිවයිනේ බොහෝ පෙදෙස් වල “අත්තාපලේ“ ගැසීම නම් ක්‍රීඩාවකි. එහි ප්‍රකට කවියක් වන්නේ,

අත්තාපල් මුත්තාපල්
රෑනගලේ ගල කෙටුවත් මා නම් අල්ලන්න බැරුවාමයි බැරුවාමයි..

මේ අතර ජන කවි වල පවා රෑනගල ගැන සදහන්ය. 

රෑන පිට රෑන වන මල් පිපෙන්නයි
රෑන රෑන ගොක් රෑනෙන් සැදෙන්නයි
රෑන කෙටූ ගල ඉහලට නගින්නයි
රෑන ගලේ ගල් දාගැබ වදින්නයි

වළගම්බා රජ සමයේ මාතලේ අළු විහාරයේදී බුද්ධ ධර්මය තල්කොල පත් වල ලිවීම ඇරඹුණි. මේ සදහා තල් කොල ලබාගෙන ඇත්තේ රෑනගලට නුදුරින් වූ “ගල්තරේ“ නම් තල් උයනෙන්ය. ඉන් ලබාගත් තල් කොල රෑනගලදී තම්බා පදම් කරගෙන ඒවා පිරිත් කොට අළු විහාරය දක්වා පෙරහැරින් වඩම්මාගෙන ගිය බව කියැවේ.

දඹදෙණියේ දෙවනි පැරකුම් නමින් රජ වූ කුමාරයා කළුන්දාවේ ගම ගෙදර තරුණීයට පෙම් බැද රෑනගල දෙවොලට පූජාවක් ඔප්පු කර ඇත. විවිධ අරමුණු ඉෂ්ඨ කරගැනීම සදහා අදද මෙම දොවොල මහත් ප්‍රසිද්ධියක් උසුලයි. 

රෑනගල වෙහෙර වන්දනාවට අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා අහසින් වැඩ ගල උඩ සිටින විට මුළු පර්වතයම ඈතට කසාවතක් සේ දිස්වූ බව සදහන්ය. රෑනගල ගල් පර්වතය පාමුල ඇති බෝධියද ඉපැරණිය. මහා වංශයේ සදහන් පරිදි දේවානම්පියතිස්ස රජතුමාගේ ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා සිටවීමේ වැඩ පිළිවෙල යටතේ මෙය රෝපණය කර ඇත. 



රෑනගල ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය, දඹදෙණි පැරකුම්භා, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් කල බව ඉතිහාසයේ සදහන්ය. දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩම කල පසු රෑනගලට අයත් ගම්වල දායක වරුන්ගෙන් දළදා වහන්සේට පුද සත්කාර ලැබී ඇත. රෑනගල විහාරය අසල පිහිටි පැරණි අම්බලමද එම මාර්ගයේ පෞරාණිකත්වය මනාව පිළිබිඹු කරයි.  විහාරයට නුදුරින් වූ “සරක්කුව“ නම් ස්ථානයේ පැරණි නටඹුන් ගොඩනැගිල්ලකි. එය යුධ සංවිධානය කිරීම සදහා රජු විසින් යොදාගත් සංචාරක මාලිගාවක් යන්න පුරාවිද්‍යා  මතයයි. 

පැරණි චෛත්‍යයේ නටඹුන් පාදක කරගනිමින් නව චෛත්‍යය ඉදිකර ඇත. අතීතයේ අවස්ථා ගණනාවකදී මින් බුදුරැස් විහිදුනු බව පැවසේ. දාගැබේ කොත් වහන්සේ කිහිප වරක්ම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වුවද එයට හානියක් කිරීමට නොහැකි වීම ආශ්චර්ය්‍යයකි.


මීට අවුරුදු දෙතුන්සීයකට පෙර මෙහි දැවපිට විහාරයක් තිබූ බව පැවසේ. දැන් එය අභාවයට ගොස්ය. තවද ගල මත ශෛලමය විහාරයක් තිබූ බවද පැවසේ. රෑනගල පර්වතය මත දැනට ඇති විහාරයට අමතරව ගල යට තවත් විහාරයක් ඇති බව කියවේ. එය ගල යට විහාරය නම් වේ. නමුත් ඊට පිවිසෙන මාර්ගය වැසී ඇති නිසා එය අද දැකගත නොහැක. 








විශේෂ ස්තූතිය - බුද්ධික සිරිවර්ධන සොයුරාට

විස්තර ලබාගැනීම - රෑනගල පිළිබද ලියවුනු පොත් පිංචකිනි (ඓතිහාසික රෑනගල රජමහා විහාර වර්ණනාව - එව්. එම් සිරිවර්ධන)


අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව

1) ගිරිගුහාරාමය - Giriguharamaya


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, April 30, 2013

ගිරිගුහාරාමය - Giriguharamaya (අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව)

අපේ  බැච් මේට්ටුවෝ එකතු වෙලා හදාගත්තු It's time to HIKE - ගිය නොගිය දුටු නුදුටු නව මානයක් සොයා සැරිසරන ගෘප් එකෙන් පහල වෙච්චි අදහසකට අනුව ලංකාවේ අප්‍රකට රජමහා විහාර ගවේෂණය හා ඒ හා බැදි අතීත පුරාවෘත්ත සෙවීම අපගේ අභිප්‍රාය වේ. එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික් ආවරණය ලකියා සමග ගවේෂකයා සමග සිදුකරන අතර වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික් ආවරණය රජා සමග සැළලිහිණියාය. 

ගිරිගුහාරාමය නාරම්මල නගරයට ආසන්නව නමුත් රුක්මලේ නම් තරමක් ග්‍රාමීය පෙදෙසක පිහිටි අප්‍රකට පුරාවිද්‍යාත්මකව වැදගත් විහාරස්ථානයකි. 

ගමන් මාර්ගය 

 කොළඹ සිට එන අයෙකු නම්,
මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.


කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල


කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල

කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල 


ප්‍රධාන මාර්ගයෙන් හැරිය යුත්තේ නාරම්මල නගරයට කලින්ය. පුරාවිද්‍යා එකෙන් ගහපු දැන්වීම් පුවරුවක්ද ඇත. හරියටම කීවොත් නාරම්මල බාර් එක ලගින්ය ;)


ගිරිගුහාරාමය සෑදූ රජ කෙනෙක් ගැන මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නැත. යුග කීපයකට මෙම විහාරස්ථානය අයත් වන බව පුරාවිද්‍යාත්මක මතයය. අනුරාධපුර යුගයේ පටන් පැවති බවට මෑතකදී කල කැණීම් වලදී හමුවූ ගඩොල් වලින් තහවුරු වන බව විහාරාධිපති හිමියන් අප සමග ප්‍රකාශ කල සිටියහ. 



පැරණි ගල් පඩි දිගේ අපි ඉදිරියටම ඇදුනෙමු. ගල් පඩි සීයක් පමණ ඉහලට නැගුනු විට ඉහල මළුවට ලගාවිය හැක. විහාරස්ථානයේ විහාර ගෙය හා ලැගුම් ගෙය ඉදිකර ඇත්තේ පිහිටි ගල් ලෙන් දෙකක් උපයෝගී කරගෙනය. ලැගුම් ගෙය අදටත් වස්වසන භික්ෂූන් වහන්සේලා භාවිතා කරන බව ගම්වාසීන් අප සමග පැවසුවේය. කටාරම් කෙටූ හිස් ගල් ලෙනක් අදටද දක්නට හැක. 



කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ර්‍ෂ 1708 වප්මස පුර තියවක් නම් තිථියලත් සදු දින ගිරිගුහාරාම විහාර මණ්ඩපයේ උළුවස්ස සවිකල බව සදහන්ය. එය අදද නොනැසී පවතී. විහාර මණ්ඩපය වන්දනාමාන කරන ඔබට එය දැක බලාගත හැක. තවද ඉපැරණි පින්තාලියක්ද දක්නට හැක. එහි ජලය කිසිදා සිදී තිබෙනු නැති බව ගැමියෙක් රජා සමග පවසා සිටියේය. 






විහාරස්ථානයේ ගණ්ඨාර කුළුණ පිහිටි ස්ථානය මනරම්ය. පිහිටි ගල්කුලක් මුදුනත එය පිහිටා ඇත. ගල්කුළු මුදුනට පිවිසුනහොත් ඉතාමනරම් දර්ශනයක් දැක බලාගත හැක. හාත්පස සිසාරා පැතිරී ගිය වෙල්යායවල්ය. තවත් පසකින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ආභරණයක් බදු වූ පොල්වතු යායවල්ය. 




ඉහල මළුව අසලින්ම පහලට ඇති කුඩා අඩිපාරකින් පහල පිහිටි වැව වෙත පිවිසිය හැක. ඒ අසලම වාගේ පුරාවිද්‍යා වැඩබිමකි. නම්කල පස් තට්ටු වෙන වෙනම දැකගත හැක. මෙම කුඩා වැව දිය නෑමට නම් නුසුදුසු බව ගැමියෝ පවසන්නේ ඔවුන්ට තරුණ ජීවිත කීපයක්ම අහිමි වූ නිසාය. මේ වැව බිලිගන්නවා මහත්තයෝ... ඒ ඔවුන්ගේ කටහඩයි.





අනිත් විහාරස්ථාන වලට මෙන් ගිරිගුහාරාමයට දායක ගම් රාශියක් නැත. ඇත්තේ එකම එක ගමකි. පවුල් ගණන 60කි. ඉන් බොහෝ දෙනා ගොවියන් හෝ කුඹල් කර්මාන්තයේ යෙදෙන පිරිස්ය. මුළු ගමම අක්කර 6ය. මේ දින වල වයඹ සංස්කෘතික අරමුදලේ ආධාර මත ගල් පඩි වෙනුවට කොන්ක්‍රීට් පඩි යොදමින් පවතී. 

ප/ලි: 

වෙසක් එකට කුරුණෑගල පැත්තේ එනවානම් මෙන්න නියම පන්සලක්. මේකත් වන්දනා කරගෙනම යන්න. 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!