අප්‍රසිද්ධ රජමහා විහාර ගවේෂණය යටතේ අපේ මීලග නැවතුම උනේ අලංකාර වට පිටාවකට හිමිකම් කියන ගල්තලාවක් මත පිහිටි රෑනගල රජමහා විහාරයයි.
ගමන් මාර්ගය
A6 පාර
අලව්ව පොල්ගහවෙල අතර යාන්ගල්මෝදර හන්දියෙන් හැරී (මහමෙව්නාව ප්‍රධාන අසපු මාර්ගය) කිලෝමීටර් 8ක් පමණ ගමන්කරන්න. හමුවන හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් 1ක් ගියතැන,
A5 පාර
ගිරිඋල්ල නාරම්මල අතර දම්පෑලැස්ස හන්දියෙන් හැරී කිලෝමීටර් 4ක් පමණ ගොස් රෑනගල හන්දියෙන් වමට හැරී කිලෝමීටරයක් ගිය තැන,
කුරුණෑගල පොතුහැර හරහා වදාකඩට පැමිණ එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ ගිය තැන රෑනගල රජමහා විහාරය හමුවේ.
රෑනගල පිහිටා ඇත්තේ පැරණි රජ මාර්ගයක සුප්‍රසිද්ධ සන්ධිස්ථානයකය. සිරිවර්ධනපුරයට, අනුරාධපුරයට, කුරුණෑගලට හා කන්ද උඩරටට විහිදි මාර්ග මේ අසලින් වැටී ඇත. කෝට්ටේ 4වන පැරකුම්බා රජ දවස යාපා පටුන ජය ගැනීම සදහා සපුමල් කුමාරයා ගියේද මේ රෑනගල අසල මාර්ගයේ බව වංශකතාවල සදහන්ය. එහි යන අතර රෑනගල විහාරයද වැද අතරමග තිබූ මුගුනු ගසකට දුන් කඩු පහරක් මෑතක් වන තුරුම වදාකඩ පාරේ “සරක්කුව“ නම් ස්ථානයක දක්නට ලැබුණි.
මෙම විහාරයට රෑනගල යන නම යෙදෙන්නට හේතු වූ කාරණය නම් විහාරයේ බෝධීන් වහන්සේ අසල සිට චෛත්‍යය දක්වා ගල් තලාවේ පිහිටි සුදු පැහැති රෑනක් බදු ලකුණක්ය. මේ ගල්රෑන උසින් අගල් දෙක තුනක් වේ.
ගල මුදුනේ දාගැබට යාබදව ගලෙහි සැදි ලිදකි. එය නිධන් වලක් ලෙස සැලකේ. ගල් ලිදෙහි බිත්ති මනාව කපරාරු කල බිත්තියක මෙන් ඔපමට්ටම්ය. එහි ඇතුළු තැනක බ්‍රාහ්මීය අක්ෂරද ඇති බව කියැවේ. මෙය පුරාවිද්‍යා අධ්‍යයනයකට යොමු කලහොත් තවත් විස්තර අනාවරණය වනු ඒකාන්තය. මෙම නිධන් වලෙහි වස්තුව කවර කාලයක කවරෙකු විසින් ගත්තා දැයි සදහන් කිරීම අපහසුය.
දිවයිනේ බොහෝ පෙදෙස් වල “අත්තාපලේ“ ගැසීම නම් ක්‍රීඩාවකි. එහි ප්‍රකට කවියක් වන්නේ,
අත්තාපල් මුත්තාපල්
රෑනගලේ ගල කෙටුවත් මා නම් අල්ලන්න බැරුවාමයි බැරුවාමයි..
මේ අතර ජන කවි වල පවා රෑනගල ගැන සදහන්ය.
රෑන පිට රෑන වන මල් පිපෙන්නයි
රෑන රෑන ගොක් රෑනෙන් සැදෙන්නයි
රෑන කෙටූ ගල ඉහලට නගින්නයි
රෑන ගලේ ගල් දාගැබ වදින්නයි
වළගම්බා රජ සමයේ මාතලේ අළු විහාරයේදී බුද්ධ ධර්මය තල්කොල පත් වල ලිවීම ඇරඹුණි. මේ සදහා තල් කොල ලබාගෙන ඇත්තේ රෑනගලට නුදුරින් වූ “ගල්තරේ“ නම් තල් උයනෙන්ය. ඉන් ලබාගත් තල් කොල රෑනගලදී තම්බා පදම් කරගෙන ඒවා පිරිත් කොට අළු විහාරය දක්වා පෙරහැරින් වඩම්මාගෙන ගිය බව කියැවේ.
දඹදෙණියේ දෙවනි පැරකුම් නමින් රජ වූ කුමාරයා කළුන්දාවේ ගම ගෙදර තරුණීයට පෙම් බැද රෑනගල දෙවොලට පූජාවක් ඔප්පු කර ඇත. විවිධ අරමුණු ඉෂ්ඨ කරගැනීම සදහා අදද මෙම දොවොල මහත් ප්‍රසිද්ධියක් උසුලයි.
රෑනගල වෙහෙර වන්දනාවට අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා අහසින් වැඩ ගල උඩ සිටින විට මුළු පර්වතයම ඈතට කසාවතක් සේ දිස්වූ බව සදහන්ය. රෑනගල ගල් පර්වතය පාමුල ඇති බෝධියද ඉපැරණිය. මහා වංශයේ සදහන් පරිදි දේවානම්පියතිස්ස රජතුමාගේ ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා සිටවීමේ වැඩ පිළිවෙල යටතේ මෙය රෝපණය කර ඇත.
රෑනගල ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය, දඹදෙණි පැරකුම්භා, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් කල බව ඉතිහාසයේ සදහන්ය. දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩම කල පසු රෑනගලට අයත් ගම්වල දායක වරුන්ගෙන් දළදා වහන්සේට පුද සත්කාර ලැබී ඇත. රෑනගල විහාරය අසල පිහිටි පැරණි අම්බලමද එම මාර්ගයේ පෞරාණිකත්වය මනාව පිළිබිඹු කරයි. විහාරයට නුදුරින් වූ “සරක්කුව“ නම් ස්ථානයේ පැරණි නටඹුන් ගොඩනැගිල්ලකි. එය යුධ සංවිධානය කිරීම සදහා රජු විසින් යොදාගත් සංචාරක මාලිගාවක් යන්න පුරාවිද්‍යා මතයයි.
පැරණි චෛත්‍යයේ නටඹුන් පාදක කරගනිමින් නව චෛත්‍යය ඉදිකර ඇත. අතීතයේ අවස්ථා ගණනාවකදී මින් බුදුරැස් විහිදුනු බව පැවසේ. දාගැබේ කොත් වහන්සේ කිහිප වරක්ම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වුවද එයට හානියක් කිරීමට නොහැකි වීම ආශ්චර්ය්‍යයකි.
මීට අවුරුදු දෙතුන්සීයකට පෙර මෙහි දැවපිට විහාරයක් තිබූ බව පැවසේ. දැන් එය අභාවයට ගොස්ය. තවද ගල මත ශෛලමය විහාරයක් තිබූ බවද පැවසේ. රෑනගල පර්වතය මත දැනට ඇති විහාරයට අමතරව ගල යට තවත් විහාරයක් ඇති බව කියවේ. එය ගල යට විහාරය නම් වේ. නමුත් ඊට පිවිසෙන මාර්ගය වැසී ඇති නිසා එය අද දැකගත නොහැක.
විශේෂ ස්තූතිය - බුද්ධික සිරිවර්ධන සොයුරාට
විස්තර ලබාගැනීම - රෑනගල පිළිබද ලියවුනු පොත් පිංචකිනි (ඓතිහාසික රෑනගල රජමහා විහාර වර්ණනාව - එව්. එම් සිරිවර්ධන)
අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!