ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක්

Thursday, May 16, 2013

චන්ගුමීගේ අසික්කිත කොණ්ඩකටුව - Changumis Awkward Hair-pin

චන්ගුමී ගැන වෙනම ගුණ වර්ණනාවක් මම දෙන්නට ඕනේ නැත. ඌ මෑත කාලයේ ලංකාවේ හිටියානම් ඔය ගියැයි කියන අටමගලයෙන් එක කොටසක් හෝ බලා තිබිය යුතුමය.රජත් ඕක බැලුවේ එහි මොකක් හරි වචන කෑල්ලක්වත් අල්ලගන්නටය. වැඩිමනක් කොටස් දෙකක් බලන්න ඇතිය. මට නිකන් ඔක්කාරෙට ආවේය. ඇයි හත්තිලව්වේ ඒක හඩකවන ගෑණු ළමයි ස්ටුඩියෝ එක ඇතුලේ සුරාන්තයට ලං වෙනවාද කොහෙදය. හැම වෙලාවෙම ආ...හ් ඌහ්... අනේ.... ම්ම්ම්හ්... යකෝ ටීවී එක වැඩිකරගෙන ඒක බැලුවොත් එහෙම ගෙදර උන් හිතන් මූ ටීවී එකේ වැලක් බලනවා කියලාය. ඒ ගැන මම කියන්න ඕනේ නැත. දන්නෝ දතිතිය. 


සතිපොල ගැන කතා කරනවා නම් පොලත් සමග බැදුනු සෑහෙන අතීතයක් රජාට ඇත්තේය. අපේ රවුමේ පොළ තියෙන්නේ බදාදාය. අගහරුවාදා හවස 6ට විතර වගේ පොළ පටන්ගන්නේය. ඉස්සර අපේ ගෙදර කස්ටිය ගැන්සිය පිටින්ම පොලට බහින්නේ අගහරුවාදා රෑටය. පොළ වටේම ගිහින් එක එක ඒවා අරන් ගෙදර යනකොට කොහොමත් රෑ 8,9 වෙන්නේය. ඔය වෙලාව අතරතුර රජාට නොමිලේ ඇපල්, මිදි ගෙඩි එහෙම හම්බෙන්නේ පිය රජාගේ යාළු මුදලිලාගෙන්ය. 

පසුකාලීනව ඔය එළවළු කඩ සීන් එක ආවේය. තැන් තැන් වල හෙන සරුවට කඩ දාගෙන කට්ටිය වෙළදාම පටන්ගත්තේය. කට්ටිය පොලට යන එකත් හෙමින් හෙමින් අඩුවී ගියේය. ඇපල් හම්බෙන එකත් එහෙම්මම පාෂාණ භූතවිය. ඒ හම්බුන ඇපල් ගෙඩි වල ඇට හිටෙව්වා නම් මම දැන් ඇපල් වත්තක හිමිකාරයෙක්ය. දැන් මාස දෙක තුනක ඉදන් අපේ මව්තුමිය ආයෙත් පොලට යන්න පටන් අරන්ය. ඒකත් මහ දවල් බදාදා පොලටය. තනියමත් නෙමේය. රජාත් එක්ක බයිසිකල් කට්ටේය. 

වෙනදාට නම් රජා කරන්නේ පොල ලග තියෙන ගහක් යටට වෙලා පුටාර් එක නවත්තාගෙන මව්තුමිය එනකන් ඉන්න එකය. ඒකත් එක්තරා කලාවක්ය. බස්වලින් බැහැලා එන, පොලට ගිහින් ආපහු යන සුන්දර ජනතාව ගෑල්ලමයි දෙස බලාසිටීම හැමෝටම කල නොහැකිය. කලාව උනත් හැමදාම කරද්දි එපා වෙන්නේය. ඒක හින්දා රජා පොල භූමියට පය ගැහුවේය. යන කොටම පොල මැද්දේ පාරේ එකෙක් අර පොඩි පොඩි ගැජට් කෑලි විකුණන්නේය. පොර නිකන් පුරුදු නමකින් ගෑගසමින් සිටියේය. ඒ චන්ගුමීය. 

රජාගේ මතකය කස කස ගාලා අතීතයට දිව ගියේය. ඔය චන්ගුමියා දවසකුත් මට හෙනම ලයින් එකක් දැම්මේය.ඒ අවුරුදු කට උඩ තියලා ඇදුම් ගන්න ගිය දවසේය. වෙලාවට එතන හිටියේ චන්ගුමී පිස්සුව ගහපු බවලත් පාර්ශවයේ කච කච ටිකක් පමණය. සීන් එක මෙහෙමය. 

*ස්ථානය - තිලකවර්ධන / නිට්ටඹුව
*වේලාව - ප.ව 3.30
*ගරු රගපෑම - අදුරන ගෑල්ලමෙක්

ගෑල්ලමයා - අයියේ චන්ගුමී කොණ්ඩ කටු නැද්ද?

අයියා - ඉවර උනා මිස්... ඩිසයින් නැති ප්ලේන් කට්ට නම් තියෙනවා...

ගෑල්ලමයා - අයියෝ...

රජා - මොන #$%@???



චන්ගුමී කටු

ටික වෙලාවක් යනකං නිකන් මුළු ලෝකයම මා වටේ කැරකෙමින් තිබූ හැගීමෙන් මිදුනු මම නැවතත් පියවි ලෝකයට ආවෙමි. ආවා...ආවා...චන්ගුමී කටු ආවා...වෙළෙන්දා ගිරිය පුප්පන් කෑගහන්නේය. අම්මත් මමත් පොල වටේම ඇවිදලා එළවළු එහෙම අරගත්තෙමු. ඉස්සර හියපු මාමලා ටික දැක්කම මට ඇඩුනේය. හත්තිලව්වේ මුන් වයසට ගිහිල්ලාය. ඉස්සර වගේ මට ඇපල් දෙන්න එකෙක් නැත. උන් ඔක්කොම කියන්නේ...අනේ....පුතාගෙ ලොකු!!! කියලාය. රජාගේ ප්‍රතිචාරය සුපුරුදු පීචන් හිනාවය. 

කියන්න ආවේ ඒක නොවේය. ඒ දෙනෝදාහක් දෙනා මැද තව ඩිංගෙන් රජාගේ බුරිය ඉදිමිලා, බොක්ක ඇදවෙලා, දවල් කාපුවා උස්මුරුත්තාවට ආපු සීන් එකක්ය. හෙල්මට් එකෙන් මූණ වහගෙන බොහොම අමාරුවෙන් එතනින් මාරු උනෙමි. හෙනම කුප්ප සීන් එක කියන්නේ, මව්තුමිය මට එහාපැත්තේය. 

එච්චරට මෙච්චර නං, මෙච්චරට කොච්චරද කියලා බඩු ටික අරගෙන ආපහු එනකොට අර චන්ගුමී මුදලාලි ලග පොඩි ට්‍රැෆික් එකක්ය. හේතුව ලොක්කව වට කරගත් ගැහුණු ළමෝ සමූහයක්ය. සීන් එක මෙහෙමය.....

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා....

මූ යටි ගිරියෙන් කෑගහන අතරතුර රජත් ටිකක් නැවතී බැලුවේ මොකද්ද ඔය ගැජට් එක කියලාය. ඒ අතරම එහා පැත්තෙන් ටිකක් වයසක කපල් එකක් බඩු මල්ලක් උස්සාගෙන ඇදී ගියේය. 

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා....

බඩුමල්ල උස්සගත් අන්කලුත් ඇහුන දෙයින් නිකන් ෆුල් හින්දුස්ථාන් වෙලා ගියේය. ඒක ටක්කෙටම සුවර්ය. මම මිනිහාගේ මූණ ලෙසටම දැක්කෙමි. යනගමන්ම මිනිහා යමක් කියාගෙන ගියේය.

අන්කල්: චන්ගුමී කටු??? කොහෙ ගහගන්නද?

රජාට හිනාව තද කරගෙන ඉන්න බැරි වෙලා තොල්පෙති අස්සෙන් කෙලත් විසිඋනාද කොහෙදය. අර කටු තෝර තෝර හිටපු කෙල්ලෙක් සිං ගාලා හැරුනේ ඒක විය යුතුමය. ඔය අස්සේ අරූ තාමත් බෙරිහන් දෙන්නේය. 

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා...

ඕක බලන් හිටපු එහා පැත්තේ මුරුක්කු කඩේ එකා ඌට නොදෙවෙනි සද්දෙන් කෑගැහුවේය.

වෙළෙන්දා 2: ඔයා කටු ගෙනාවට චන්ගුමීව ගෙනාවේ නෑනේ.....

ක්ෂණිකව පිළිතුරක් ලැබුණි.

වෙළෙන්දා 1: චන්ගුමීව ගෙනාවනම් ඔයාලා අද බිස්නස් කරන්නේ නෑනේ....

මුන් දෙන්නා ඕක කිව්වේ ඔය තිත් පේලි තියෙන තැන් හොදට ඇදලාය. රජාට තව දුරටත් සිනහව පාලනය කරගත නොහැකි උනේය. ඔලුවට දාන හෙල්මට් එක වහාම කට ලගට ආවේය. තව පොඩ්ඩෙන් වයිසර් එකට කටත් කැපෙන්නේය. පුටාර් එක තියෙන තැනට එනකන් මමයි අම්මයි ආවේ හිනා වෙවීය. 


ප/ලි: 

අර තිලකවර්ධන එකේ සීන් එක බුකියේ දාපුවම එකෙක් පට්ට කමෙන්ට් එකක් දාලා තිබ්බා. 

මිස්...චන්ගුමී කටු නං ඉවරයි... චන්ගුමී පාන් කපන පිහි ඇවිත් තියෙනවා දෙන්නද? :D :D

ඕං අඩවි වැසියෝ හින්දම අර ගෑල්ලමයාගෙන් චන්ගුමී කට්ටක් ඉල්ලන් ඇවිත් පොටෝ එකකුත් ගහගත්තා. ඔය උඩ තියෙන්නේ ඒකලු. ඕක ගහන හැටි පෙන්නනවකෝ පොටෝවක් ගන්න කිව්වට ඇහුවේ නෑනේ. ඔය චාටු දදා ඉල්ලන්නේ බ්ලොග් එකේ දාන්න කියලා මාව එලෙව්වා කියහල්ලකෝ!

ඕක දැන් උ/පෙ කෙල්ලන්ගේ ස්ටයිල් එකක් වෙලාලු. කට්ට ගහන් යන්නේ අඩි දෙකක් විතර උඩින්ලු. චන්ගුමී කට්ට රට්ටුන්ට හෙනම ඇණයක්ලු. බස් එකේ යද්දි ඕක මූණේ ඇනෙනවලු. 

අති විශේෂ: 

දැන් කියහල්ලා කට්ට ඉල්ලගත්තේ රජාගේ කෙල්ලගෙන් කියලා. ඒක කමෙන්ටුවක් විදිහට බාරගන්නේ නෑලු. අර ඩූඩ් මාමා කියනවා වගේ යල් පැනපු විහිළුවක්ලු. 

මගෙ කෙල්ල ඔය ස්ටයිල් කරන්නේ නෑලු. එයා මෙන්න මෙහෙම කෙනෙක්ලු. 


වපර පෙම්වතී

ඇවිදින කොට ඈ බකල් ගසයි...
කතා කරනකොට කෙල විසිවෙයි...
මූණ නොසෝදන දත් නොමදින ඈ...
මගේ පෙම්වතී....ඈ මගෙ පෙම්වතී....
ඈ මගෙ බකල පෙම්වතී.... ♥ ♥

මුළු ගීතය



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, May 13, 2013

කෝඳුරුවාපොල ටැම්පිට විහාරය (අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව)

අප රටේ විහාරස්ථාන අතර ටැම්පිට විහාර වාස්තු විද්‍යාත්මකව ඉමහත් වැදගත්කමක් හිමිකර ගනී. කුරුණෑගල දිස්ත්‍රික්කය මහනුවර යුගයට අයත් එවැනි ටැම්පිට විහාර රාශියක් දැකිය හැකි ප්‍රදේශයකි. එහෙත් ඒ අතරින් වැඩි විහාර ප්‍රමාණයක සිදුව ඇති පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා පෞරාණික අගය හීනවී ගොසිනි.මේ අතරින් කෝඳුරුවාපොල විහාරය වැදගත් වන්නේ එය පුරාවිද්‍යාත්මක අගය සුරැකුණු රක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් නිසා ය. මෙය ඉදිකරවූ බව සඳහන් වන්නේ මීගස්තැන්නේ අදිකාරම (දුම්බර නිලමේ) විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස විසූ මෙම අදිකාරම විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළේ ටැම්පිට විහාර රාශියක් ඉදිකරවන ලද බව හෝ පිළිසකර කරවන ලද බව සඳහන් වේ. ඔහු නැවතී සිටි බව සඳහන් වන්නේ කුලියාපිටිය කෝන්ගහගෙදර ගමේ ය.

ගමන් මාර්ගය

කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ පැමිණ නාරම්මල සිට කි.මී. 10 ක් පමණ ගොස් ගණන්ගමුව හන්දියෙන් වමට හැරී තවත් කි.මී. 2ක් ගමන් කළ යුතු ය. 



කෝඳුරුවාපොල යන නම ඇති වූ අන්දම පිළිබඳව ප්‍රදේශයේ පැතිර ඇති ජනප්‍රවාදයක් නම් පුරාණයේ විහාරය ඉදිකර ඇති ගල්තලාව මත මැති ඇමතිවරු රහස් සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ නිසා එයට කෙඳිරුම්පොල යන නම ලැබී ඇති බවත් පසුව කෝඳුරුවාපොල වූ බවත් ය

තවත් ජනප්‍රවාදයකට අනුව ගමේ පිහිටි මසුරන් කෝට්ටේ නමින් හැඳින්වෙන වැව (මේ වැව මෑතක දී ප්‍රතිසංස්කරණය කර තිබේ) හා ටැම්පිට විහාරයේ ආරම්භය අතර සම්බන්ධයක් පවතී. වැව ඉදිකරන සමයේ වැව් බැම්ම කෙතරම් ශක්තිමත් අයුරින් ඉදිකළත් කිහිප වරක්ම කැඩී යන්නට පටන් ගෙන ඇත.


නැකත්කරුවකු එයට හේතුව ලෙස පවසා තිබෙන්නේ වැව තැනීම ආරම්භ කළ නැකත අසුභ බවත් එය මඟ හැරීම සඳහා ගමේ ගල් තලාව මත විහාරයක් ඉදිකළ යුතු බවත් ය. ඒ අනුව ගල් තලාව මත අදිකාරම විසින් විහාරය ඉදිකරවා එහි වැවට නෙත් යොමු වන සේ හිඳි බුදු පිළිමයක් නිර්මාණය කරවා තිබේ. ඊට පසු වැව තැනීමේ වැඩ කටයුතු සාර්ථක වූ බව එම ජනප්‍රවාදයේ පැවසේ. කෝඳුරුවාපොල විහාර භූමියට පිවිසෙන විටම පර්වතය මත පිහිටා ඇති ටැම්පිට විහාරය ධර්ම ශාලාව සහ නව විහාරය අප නෙත ගැටේ. නව සංඝාවාසය පිහිටා ඇත්තේ පහල බිමේ ය. පර්වතය හරහා ගමන් කර විහාර මළුවට පිවිසීමට මෑතක දී වාහල්කඩක් සහිත මාර්ගයක් සකසා තිබේ.










විහාරය ඉදිකර තිබෙන්නේ පර්වතය මත සිටවූ අඩි 2ක් පමණ උස ගල්ටැම් 11ක් මත ය. පර්වතය සමතලා කර ගැනීමට පදනමක් ඉදිනොකර සෘජුවට කලුගල් ටැම් ඒ මත සිටුවා තිබේ.

පර්වතයේ ස්වරූපය අනුව ගල්ටැම්වල උස වෙනස් වේ. ඒවායේ ඝනකම ද එකිනෙකට වෙනස් ය. විහාරයට පිවිසීමට ඉදිරිපසින් කලුගල් කුට්ටි යොදා පියගැට පෙළක් නිර්මාණය කර ඇත. 

විහාරයේ ඉදිරිපසින්ම ඇති උළුවස්ස අලංකරණවලින් තොර ය. ඊට පසු හමුවන දෙවන උළුවස්ස සහිත බිත්තිය මකර තොරණකින් අලංකාර කොට තිබේ. චන්ද්‍ර වංකය සහිත චාම් උළුවස්ස පළල අඩි 3ක් සහ උසින් අඩි 5 අඟල් 4 ක් වේ.මෙහි පිහිටි මකර තොරණෙහි කීර්තිමුඛය කැඩී විනාශ වී ඇත. දෙපසින් කඩු අතින් ගත් දොරටු පාල රූප දෙකකි. මකරා මත දේව රූප නිර්මාණය කර ඇත. මකර තොරණෙහි සායම් මැකී ගොස් තැනින් තැන තීන්ත මතුවී පෙනේ.





ප/ලි: 

අප එහි වන්දනාවේ යෙදුනේ පෝය දිනක නොවේය. පන්සලේ කිසිවෙකුත් අපිට මුණගැසීමට නොහැකි විය. එබැවින් ටැම්පිට විහාරය ඇතුලත ඡායාරූප ගැනීමටවත් වැඩිදුර විස්තර සොයා ගැනීමටවත් නොහැකි විය. නැවත වරක් එහි සංචාරයේදී අනිවාර්යෙන්ම ඡායාරූප මෙහි අප්ඩේට් වනු ඇත. 

අතීත කතාවේ විස්තර ගත්තේ බුදුසරණ පත්තරේ ලිපියකිනි.

ටැම්පිට විහාර යනු මොනවාද?

ටැම්පිට යන වචනයෙන් ම අරුත් ගැන්වෙන පරිදි ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් යන්න මින් අදහස්‌ වේ. බොහෝ විට සිදුවන පරිදි මෙම කුළුණු ගල් ටැම් විය. 

දිස්‌ත්‍රික්‌කය හා ටැම්පිට විහාර සංඛ්‍යාව

                                


කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම ටැම්පිට විහාර සොයා යාම අපගේ අභිප්‍රාය වේ. 

විස්තර උපුටා ගැනීම මෙන්ම, වැඩිදුර විස්තර මෙතනින්.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!