Saturday, June 22, 2013

ශාන්තිකර්මේ ඉස්මොල්ලේ ගියා - That Ritual Touched my Trachea


මේ ලගදී රජ පවුලට පොඩි ඉන්විටේෂන් එකක් ලැබුනේය. පොඩි කිව්වට එහෙම්මමත් පොඩි නැත. ඒෆෝ කොළ බාගෙකටත් වැඩිය ලොකුය. කොලේ ආවේ අපේ දේවාලේ මහ කපු උන්නැහැගෙන්ය. හෙන වසයක ඩයල් එකය. පොර ගෙදරටම ඇවිල්ලා දීලා ගිය එකය. ගෙදරට ඇවිල්ලා නිකන් දීලා ගියානම් කමකුත් නැත. ඒක දීලා, අතේ කඹයක් වගේ පිරිත් නූලකුත් බැදලා ගියේය. ඒ ඉතින් නොකියා කිව්වේ පුතේ...අනිවා වරෙන් කියලාය.  

දේවාලේ ගැනත් මොනවා හරි කියන්නම ඕනෑය. නැත්තන් නිකන් හරි නැත. රජා ඉපදෙන්න කලින් ඉදලම ඔය දේවාලෙට යන්නේය. ඒ කියන්නේ රජා කලලෙ ඉදන් දේවාලේ අදුරන්නේය. පොඩි රජා ඉස්සර දේවාලෙට යන්නේ මාරම කැමැත්තෙන්ය. මොකද කපු සීයා ගාථා කියන ගමන් පළතුරු වට්ටි වලින් මිදි, ඇපල් ගෙඩි එහෙම රජාට දෙන්නේය. කෑම කිව්වොත් ඉතින් අපි සත්තු වගේය. සුවද දැනුනද එතනය. ඒක ඉස්සර ඉදන් එහෙමය. අනික අපේ මව්තුමිය ගෙනියන පළතුරු වට්ටියට එහෙම් පිටින්ම වග කියන්නේද මමමය. 

සිස්සත්තේ, සා/පෙ, උ/පෙ ඔක්කොම කරන්න කලින් අපි හැමදාම ඔතෙන්ට ගිහින් ආශිර්වාද ගත්තෙමු. මම නං ආසම සීන් එක පොල් ගහන එකය. ඉස්සර පොඩි රජාට පොල් ගෙඩිය ගහ ගන්න පණ නැත. ගැහුවට ඒවා බිදුනේ නැත. මම ඉතින් කලේ පැත්තකට වෙලා අනිත් මාමලා, නැන්දලා, අයියලා පොල් ගහන හැටි බලන් හිටපු එකය. ඒකත් පට්ට ආතල්ය. ලගට වෙලා හිටපුවාම ගපහු පොලේ වතුර පාර චිරිස්...ගාලා මූ‍ණෙය. ඒ පොල් වතුර අනිත් පොල් වතුර වලට වඩා මාර රහය. බාග විට දෙයියෝ මතුරලා හින්දද කොහෙදය :) 

දැන්නම් පොල් ගෙඩිය ලෙසටම ගහන්න පුළුවන්ය. ෆුල් ඩම් එක දාලා පටෝ...රියන් ගාලා කෙලල ඇරපුවාම පොල් ගෙඩිය කුඩේ කුඩුය. පොල් මුඩ්ඩ විතරක් ඉතුරුය. කට්ට ලොවෙත් නැත. 

ආරාධනාව ආවේ දේවාලේ ශාන්තිකර්මයක් බලන්න යන්නටය. හතට විතර අපි දේවාලෙට ගියෙමු. වැඩේ පටන්අරන්ය. වැඩි වෙලාවක් ගිහින් නැත. ඒ උනාට සූ........ගාලා සෙනගය. ඔවුන් අස්සෙ රිංගන්න ගිහින් පදේ අහගන්නවට වඩා පැත්තකට වෙලා ෂේප් එකේ බලන එක හොදය. දන්නවනේ ගම් වල ආච්චි අම්මලගෙ කටවල්!!! 

නැට්ටුවෝ ටිකනං පංකාදු පහය. උන්ට නටන්න කලින්  රෙඩ්බුල් දීලද කොහෙදය. උන් නටනවා නෙමේ පාවෙනවාය. බෙර ගහන උන් ඊට එහාය. මම නං හිතුවේ බෙරේ දැන් පැලෙයි...දැන් පැලෙයි...කියලාය. ඇයි දෙයියනේ මුන් කෙලිනවා ඒකට දඩ දඩ ගාලා. ඔළුව කරකෝ කරකෝ ගහන්නේ. බලන් ඉදලා මට මඤ්ඤං. ටික වෙලාවකින් පන්දමට දුම්මල ගහන්න ගත්තේය. ඒකනං පිස්සු පහර ඈ...ගින්දර පාර යනවා හෝ...ස් ගාලා. හෙන වෙලාවක් බලන් මම හිටියෙමි. කකුල් දෙක රිදෙන හින්දා පැත්තකට ඇවිත් ඉදගත්තෙමි. 

මේ නැට්ටුවා එක විදිහකට හිටියෙම නෑනේ

කුලප්පුව...පොටෝවට අහුවෙලත් නෑ :/
ඉදගත්තෙත් එසේ මෙසේ තැනක නොවේය. ඒකත් තේ මේසෙ ලගමය. පොඩි පොඩි කෙල්ලෝ තේ උස්සන් එහෙ මෙහෙ යන්නේය. මමත් ඉතින් බලන් හිටියේ දැන් එකක් අල්ලයි දැන් අල්ලයි කියලාය. කොහෙද...මෙච්චර ලග ඉදලා එකෙක් මට තේ එකක් දුන්නේ නැත. බැරිම තැන A/Level ඉවරයි එකේ සින්දුව මුමුණු මුමුණ හිටියෙමි. ඒක අර බෙර කාරයෝ ගහන තාලෙටම සෙට් උනේය. 

මං ගමේ කොල්ලා....
ගම එපා වෙලා....
කොළඹට ආවේ....
පෙට්ටගම කඩලා... 

වෙලාව දහයටත් කිට්ටු උනේය. තාම කන්න නැත. මම කපුමහත්තයගෙ අම්මට කියලා හැෂ්ටැග්(#) එකක් දාන්න හදද්දිම අන්න එනවා ලස්සන අක්කා කෙනෙක් වතුර අල්ලගෙන. මට වතුර අල්ලන්නත් කලින්ම මම ගිහින් පෝලිමේද කොහෙදය. එච්චරට බඩිගිනිය. කෑම ටිකනං පංකාදු පහය. හත්මාළුවක් තිබ්බා...ලොවෙත් ඈ. දැක්කහමනං හිතෙන්නේ ක්ෂණික බඩයෑමක් සෙට් වෙයි කියලාය. ඒ උනාට මාරම රහය. 

දෙයියන්ගේ කෑම හින්දා අහක දාන්න හොද නැත. උස්මුරුත්තාවට එනකං කාලා කාලා වතුර බොන්න ආවෙමි. සින්ක් එක ලග එකම හිනා සාගරයය. ශාන්තිකර්මේ කවි කියන ගුරුන්නාසෙට වඩා හයියෙන් කට්ටිය හිනා වෙන්නේය. මමත් වතුර එකක් බිබී පොඩ්ඩක් ඔළුව දැම්මේ පෝස්ට් එකකට හරියන කතාවක් සෙට් වේගෙන එනවා වගේ ඉවක් ආපු නිසාය. පොඩ්ඩක් අස්සෙන් ඔළුව දැම්මෙමි. 

අම්මටසිරි ලෙසටම ගහපු වයසක ඩයල් එකක් බෙර පද තාලෙට නටන්නේය. කන සාක්කුවට පෝඩ්ඩක් උඩින්ය. සරමත් කැහැපොට කවාගෙනය. සරම තව ටිකක් ඉස්සුනානන් එහෙම ආච්චිලා ටික ඌව උස්සගෙන යන ලයින් එකක් තිබුනේය. අඩෝ මූ හෙන ශාස්ත්‍රීය ලෙස නටන්නේය. එක පාරටම බෙර ගහන උන්ගේ ටෙම්පෝ එක වැඩි උනේය. දැන් දඩි බිඩි ගාලා බෙර පද යන්නේය. සීයාකාරයා නටාගෙන නටාගෙන ගියේය. අම්බෝ....ඒකනං සිරාම ලොල්ය. කොච්චර පජාතද කියනවානම් මට වතුර ඉස්මොල්ලේ ගියේය. වතුර නහයෙන් ආවේය. බත් ඇට දෙකකුත් නහයෙන් ආවාද කොහෙදය. 

බොහොම අමාරුවෙන් අනිත් උන්ගේ ඇගේ වතුර හලන්නේ නැතුව මම මාරු උනෙමි. එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා ගෙදර ආවෙමි. ශාන්තිකර්මේ බැලුවට වඩා කලේ අහල පහල වෙච්ච විකාර බැලුව එකය. අර බෙර සද්ද අස්සේ ඉදලා තාම නිකන් කන ඇතුලේ එකෙක් බෙර ගහනවා වගේය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, June 18, 2013

ගොළුබෙලි කතන්දර - Snail Stories


මේ දවස් වල අම්බානකට වහින්නේය. රෑට ඇත්තේ පුදුම සීතලක්ය. බෙඩ්ෂීට් එකටත් වතුර වැටිලාද කොහෙදය. ඒකත් පට්ට සීතලය. වහින දවස් වලට මතක් වෙන කවි පද කීපයකුත් අඩවියේ තිබුනේය. මතක විදිහට තාමත් තිබ්බාද කොහෙදය. ඒ අග්ගලා ගල් වෙන සීන් එකක් ගැනය. මතක උන්ට නම් නම ඇහෙද්දිත් හිනා යනවාමය. ඉස්සර නම් අපේ ගෙවල් පැත්තේ වහින කාලෙට නොවරදින බොක්කක් හිටියේය. ඒ ගොළුබෙල්ලාය. උගෙ එක කුස උපන් මල්ලී වූ හංගොල්ලාත් එහෙන් මෙහෙන් මතු උනේය. 

හෙන දුක හිතෙන සීන් එක කියන්නේ දැන් ඒ එකෙක්වත් අපේ ගෙවල් පැත්තේ පේන්න නැත. මේකත් කොටන්න හිතුනේ බෝඩිමේ ඉදන් කැම්පස් එකට යන අතර මග කාණුවක් ලග හිටපු හෙන පත සයිස් ගොළුබෙලි යාළුවෙක් දැක්කාට පසුවය. ඌ නං ජරාව කාලම මහත් වෙච්ච එකෙක්ද කොහෙදය. බාගවිට මම දැකපු ලොකුම ගොළුබෙල්ලන්ගෙන් එකෙක්ද කොහෙදය. 

ඉස්සර රජාලා පදිංචි වෙලා හිටියේ පියරජාගේ මහගෙදරය. ගේ පිටිපස්සේ පොඩි බුලත් කොරටුවක් තිබුනේය. රජා හදිස්සියට දුවල ගිහින් ඕකට චූ කරන නිසාදෝ කොහෙද සරුවට බුලත් හැදී තිබුණි. ඕකේ ප්‍රධාන ආරක්ෂකයා අපේ සීයාකොල්ලා සමග ඇටිකුකුළාය. වැස්ස කාලෙට මේ දෙන්නට බරටම වැඩය. ගොළුබෙල්ලෝ රෑන් පිටින් බුලත් කොටුවට බහින්නේය. මහ රෑ ක්‍රියාත්මක වෙන සීයා බාල්දියකුත් අරගෙන ගොළුබෙල්ලෝ ඇහිලුවේය. වැඩේට පූර්ණ අනුග්‍රහය රජාගෙන්ය. මොකද මම නැත්තන් වැඩේ කරන්න වෙන්නේ නැත. ටෝච් එක මගෙ අතේය. මේකත් අර මම නැතුව ගමේ උන්ට ෆුට් බෝල් ගහන්න බෑ කිව්වා වගේ සීන්කෝන් එකක්ය. අහුලගත්තු ගොළුබෙල්ලෝ සෙට් එකම විසිකරන්නේ ගෙට එහා පැත්තේ වූ බෝක්කුවටය. අනේ ඉතින් ඊට පස්සේ උන්ට මොනා උනාද කියා දන්නේ උනුත් එක්කම හිටපු ගොළුබෙල්ලෝ විතරමය. 

රෑට සීයා ක්‍රියාත්මක උනාට දවල්ට ක්‍රියාත්මක වෙන්නේ රජා සමග ඇටිකුකුල් ෆ්‍රෙඩාය. මම ඔය පව්කාර වැඩවලට අතගහන්නේ නැත. මම සහභාගි වෙන්නේ වක්‍රාකාරවය. ඒ කියන්නේ රවුමටය. රවුමට කියන්නේ මෙහෙමය. චූටි රජා බයිසිකල් පදින්නේ ගේ වටේට රවුමටය. ඔහොම රවුමට යනකොට යනකොට හිටුපු ගමන් චටස්....ගාලා සද්දයක් ඇහෙන්නේය. ක්‍රීස්.....ගාලා බ්රේක් ගහලා රජා පස්ස බලන්නේ නිකන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 6 එකේ රොක් වගේය. පිටිපස්සෙන් කවුරුහරි බලන් හිටියනං ඌ බයටම විසික්වෙලාය. ඔහොම බලන එක පාරකවත් එකෙක්වත් මගෙ පස්සෙන් හිටියේ නැත. ඒත් කට්ට කඩාගත්තු ගොළුබෙල්ලෙක් බිම වැතිරී සිටියේය. සොරි යාළුවා.....ඊලග දවසේ කහ ඉරෙන් ඉක්මනට පාර පයින්න...කියන රජා වෙඩිල්ල වගේ වාෂ්ප වෙන්නේය. මේ ඉරණම ගොළුබෙල්ලෝ සෑහෙන පිරිසකට අත්වෙන්නේය. 


රජාගෙන්, සීයාකොල්ලගෙන් හා ඇටිකුකුලගෙන් බේරෙන ගොළුබෙල්ලෝ හද්ද වාසනාවන්තය. මොකද උන්ට ලෝක පූජිත විය හැකිය. සමහර දවස්වල හවසට පොඩිරජා සමග සීයාගේ දැවැන්ත දාම් තරගාවලියය. සීයව පරදා ජය ගන්නට කැතම ට්‍රයි එකක් දෙන්න ඕනෑය. මොකද සීයා දාම් ශූරයාය. හැබැයි සීයට කැරම් ගහන්න බැරිය. රජා පැරදීගෙන එනවා වගේ දැනෙන කොටම ක්ෂණිකව දුවලා ගිහින් කැරම් බෝඩ් එක උස්සන් එන්නේය. එතකොට සීයා කරන්නේ එතනින් මාරු වී වෙන මොකක්හරි සෙල්ලමකට රජාව ඇදගෙන යාමය. 

අර වාසනාවන්ත ගොළුබෙල්ලන්ගේ වැඩකිඩ ලොවට පෙනෙන්නේ එතකොටය. බුලත් කොටුව වටේ ඇවිදලා හොද තරුණ ගොළුබෙල්ලෝ දෙන්නෙක් හොයාගත යුතුය. වැඩිය ලොකු වෙන්නත් බැරිය. හොද පෙනුම තියෙන එකෙක් හොයාගත යුතුය. තරගය නම් සෙන්ටිමීටර් 15 මහා ධාවන තරගාවලියය. රජාගේ ගොළුබෙල්ලා හා සීයාගේ ගොළුබෙල්ලා ආරම්භක ඉරමත තබා බලාගෙන සිටිය යුතුය. ඉස්සරලාම කට්ටෙන් ඔළුව දාලා සෙන්ටිමීටර් 15 යන ගොළුබෙල්ලාගේ හිමිකරුවා ජයග්‍රාහකයා වන්නේය. ඌ හෙමින් හෙමින් යනකන් ටිකක් ඈතට වෙලා චියර් කල යුතුය. 

කමෝන් ගොළු....කමෝන්... 
ඇර ගොළුවා ඇර.... 
තව චුට්ටයි ඔහොම යං...
ආ...ආ...ආ.........

තරගය බලා සිටිය උන් කෑගහන්නේ එහෙමය. සමහර වෙලාවට ඌ කෙලින්ම යන්නේ නැතුව වටේ යන්න ගන්නේය. ඒ නම් ඉතින් හිමිකරුවාගේ අවාසනාවමය. ඇයි තව සමහර වෙලාවට ඌ කට්ටෙන් ඔළුව එලියට ගන්නේම නැත. ඒත් ඉතින් ඒ ත්‍රිල් එක ගන්න ගොළුබෙලි තරගයක් තියලම බලන්න ඕනෑය. සීන් එක කියන්නේ දැන්නම් අපේ ගෙවල් අහලකවත් බේතකටවත් හොයාගන්න ගොළුවෙක් නැත. 

ප/ලි:    

මේ ගොළුබෙල්ලෝ කියන තරම් හිරිකිත නෑ බං. උන්ගෙත් පොඩි කලාත්මක ගතියක් තියෙනවා. හැබැයි ඉතින් හංගොල්ලානං පජාතයි ඈ...දවසක් පොඩි කාලේ ගේ ඇතුලේ ඉදලා එකෙක්ව පෑගිලා ලෙස්සලා ගියා මීටර් සීයක් විතර. ඔක්කොමත් හරි පස්සේ අර සෙවල ගතිය යනකන් යටිපතුල හෝදන එකනේ එපාම වෙන්නේ. ඒවා ලේසියෙන් යන්නෙත් නෑ. ඊයා!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Friday, June 7, 2013

ආන්ටිගෙ අමුතු බිත්තර - Neighbour Aunts Awkward Eggs


බිත්තර වූ කලී ඉතින් හැම එකාම කන ජාතියක්ය. සමහරුනං උදේ පාන්දර බිත්තර අමුවෙන්ම බොන්නේය. උන් මොන හිතකින් එහෙම බොනවාදැයි මට නං හිතාගත නොහීය. මතක් වෙනකොටත් නිකන් බඩ බුරු බුරු ගානවාද කොහෙදය. ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් වැඩිපුර බිත්තර කැවෙන්නේ නැත. මන්ද පස් හය දෙනෙක් බත් මුලට අත දැම්මම බිත්තර තියා බිත්තර කුඩක්වත් හම්බෙන්නේ හද්ද කලාතුරකින්ය. ඔය  බිත්තර වැඩිපුර කන්න එපාලුය. ඒ උනාට බිත්තර රොටී තුන හතරක් කොටුවට කපලා, හොදි දාලා මේසෙට ආවට ඔය ගුණ අගුණ මතක නැත. එක කටට රොටිය බඩේය. 

රජ මාලිගාවට බිත්තර ගේන්නේ බල්ටියේ දුරකින් වූ ගෙදරකින්ය. කුකුලෝ කිකිළියෝ 20ක් විතර එහෙ ඇතිකරන්නේය. ඒ ගෙදර සෙට් එකම ලොවෙත්ය. රජාලගෙ හොදම යාළුවෝය. ගෙදර හැමෝම ගත්තම මෙන්න මේ සයිස්ය. කොහෙන් කැපුවත් ටොන් එක හමාරය. මොනා උනත් හිත හොද කස්ටියය. ඔනේ දේකට බොක්කෙන්ය. ගෙදර අන්කල් මාමා ගැන පොඩ්ඩක් කියනවා නං... හැමදාම හවසට ඩෝප්  පිට ඉන්න පුල් ආතල් ඩයල් එක්කය. ඩෝප් කිව්වට ඒකත් ගානටය. වලි නැත. ෆන් සාගරයය. 

මේ ඊයේ පෙරේදා බිත්තර ගේන්න රජා, යුවරජා සමග මව්තුමිය ඇන්ටිලෑ ගෙදරට සැපත් උනේය. මව්තුමිය ආන්ටි එක්ක පොඩි චැටක් දානකන් රජා සමග යුවරජා බිත්තර 10ක් විතර තෝරා ගත්තේය. ඒවා අස්සේ තිබ්බ බිත්තර දෙක තුනක් හෙන හීනිය... දිගය... ඒ මදිවට බිත්තර කට්ටේ රැළි රැළි වගෙත් තියෙනවාය. අපේ මලයටත් කට තියාගෙන ඉන්න බැරිය. ලග හිටිය අක්කගෙන් ප්‍රශ්න අහන්නේය. 


යුවරජා: ඒ මේ මොනා වෙලාද අක්කේ මේ බිත්තර වලට???

ඕක ඇහුන අංකල් මාමා අපි  ඉන්න පැත්තට ඇදුනේය. වෙනදා වගේම ලාවට නමලාය. 

මාමා: ආ.............ඔය කිකිළි බිත්තරේ දාන ගමන් දුවලා. උගෙ පුක ඉරිලා!!!

අක්කා: ඊ.....මොනාද තාත්තේ ඔය කියන්නේ...??? කට වහන් යන්ඩකෝ!

අම්බෝ...මට මැරෙන්ඩ හිනාය. ඇස් දෙකෙන් කදුලුත් එන්න ඔන්න මෙන්නය. 

යුවරජා: අපිට ඕනේ මෙන්න මේ වගේ ලස්සන බිත්තර... මල්ලි බිත්තරයක් පෙන්නමින් කීවේය. 

ඕක අහන් හිටපු අංකලයට ආයේ චූන් උනේය. 

මාමා: ආ.....ඌට තියෙන්නේ චූ....ටි පුකක්!!! ඇගිලි එකට වකුටු කරමින් කීවේය. 

ඒ පාරනම් මට හිනාව තද කරන්න ඉන්න බැරි උනේය. තව තප්පර කීපයක් ගියේනම් පිත්තාශය සමග උණ්ඩුකපුච්චේ පුපුරලා රජා එතනම සොට්ටපොච්චිය. අක්කාගේ දැඩි දෝශාරෝපණය හමුවේ අංකල් මාමා පසු බැස්සේය. බිත්තර දහයකුත් අරන් අපි ආන්ටියි අම්මයි ඉන්න පැත්තට ගියෙමු. 

ඔතන ටිකක් කැරකි කැරකි ඉන්නකොට කිකිළියෝ කෑගහන්න පටන්ගත්තේය. මලයට දැන් ඕකත් ප්‍රශ්නයක්ය. 

යුවරජ: මොකද අර අරුන් කෑ ගහන්නේ? බල්ලවත් පැනලද දන්නේ නෑ...

අක්කා: නෑ නෑ...මෙන්න මම ලොකු වැඩක් කලා...ඇවිත් බිත්තරේ අරන් යන්න කියලා කියනවා අපිට...

යුවරජ: ආ......දැන් යනවද ගන්න? යං යං...

මටත් මොකද ඉතින්, මමත් දැන් කුකුල් කොටුව පැත්තට ඇදෙන්නේය. කිකිළියෝ කෙකර ගගා ඉන්නේය. මල්ලිත් දැන් ඒ වගේ කෑගහන්නේය. රස්නෙ පිටින්ම බිත්තර අරන් අපිට ගෙට ගොඩඋනෙමු. මලයා කෙක් කෙක් කෙක් කෙක්....ගගා ආවේය. ඕක අංකල් මාමට ඇහිලාය. 

මාමා: මොකද කෙක් කෙක් ගාන්නේ?

යුවරජ: ඇයි අර කුකුල්ලු කෑගන්නේ එහෙමනේ.. හි හි...

මාමා: කෙහෙල්මල....උන් ඒ කියන්නේ.... 
ටොප් ටොප් ටොප් ටොප් ටොපේ..........................ටොප් කියලා!!!

ඔන්න මිනිහට අළුත් වචනයක් අහුඋනා විතරය. දැන් ඉතින් වසලා හමාර බව මට ඉවෙන් මෙන් දැනුනේය.  ආපහු රජ මාලිගාවට එනකම්ම මූ පාර දිගේ ටොප් ටොප් ටොප් ටොප් ටොපේ..........................ටොප් ගගා ආවේය. හයියෝ හතර විලි ලැජ්ජාවේ බැරිය. මට මුගෙ ටොපා චොප්ප වෙන්න එකක් දෙන්න හිතුනේය. ඒකෙනුත් පාඩු වෙන්නේ රජ පවුලට නිසා මට ඇහුන්නෑ වගේ උඩ බලාගෙන මාලිගාවට ආවෙමි. 

ප/ලි: 

එක එක හැඩයේ බිත්තර දාන කිකිළියෝ හෙලා දැකිය යුතුය. දානවනම් පාට පාට ඒවාද දැමිය යුතුය. 

ගම් බිත්තර තරම් අනිත් බිත්තර සෙට් වෙන්වෙත් නැත. හැබැයි ඉතින් ගම් බිත්තර කන එක පව්ය. රජාව සේනා වලින් උස්සයිද දන්නෙත් නැත. :O

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, June 4, 2013

මොංගල් පොටෝ ෂූට් - Rabid Photo Shoots


යන්තන් වයිවා එකනං ඉවර කරගත්තේය. හිතුව තරම් ප්‍රශ්න ඇහුවේ නැති නිසා ඩොක්ටරයාට බුදු බව අත්විය යුතුය. සෙනසුරාදාට කැම්පස් එකේ ඉන්නේ හෙන ලොකු ලොකු ඩයල්ය. එම්එස්සී අරවා මේවා කරන උන්ය. උන් ඇවිදින්නෙත් නැත. පොළවට සමාන්තරව පාවෙනවාය. ඔය පාවෙන අතර අපි එහෙම අහල පහල හිටියට පේන්නේවත් නැත. ඉතින් අපිට පාන්ද? නැත...ඒ උනාට ලග පාතින් පාවෙන ඇන්ටිලා. ෆුහ්...!!අන්න දාගන්නවා නම්. ඒ කතා මෙතන කියන එකේ තේරුමක් නැත. ඒවා දැක බලා විදගත යුතුය. 

අපේ පුරුදු සාමාන්‍යයෙන් කොහෙ ගියත් වෙනස් වෙන්නේ නැත. ඔතන ලොක්කෝ නෙමේ මොකා හිටියත් ඒක එහෙමමය. මඩේ හිටෝපු ඉන්න වගේ නොවෙනස්ය. එදා මුළු දවසම වහින්නේය. දවල් එකට විතර අපේ සෙට් එක කැන්ටිමට සෙට් උනෝය. ලස්සනට මේස වල ඉදගෙන ලස්සන ඇන්ටිලා අක්කලා පිළිවෙලට බත් කන්නේය. සෙට් එක පිටින් පිළිවෙලට බත් කෑමක් ගැන ඔබ අසා තිබේද? බත් පැකට් 7ක් 8ක් තිබ්බාද කොහෙදය. ෂුන් ෂුන් ගාලා බත් ටික වාෂ්ප වී ගියේය. වටේ පිටේ හිටපු උන් ඇස් ඔරෝගෙන බලන් හිටියා වගේ අපි දැක්කේ නැත. බාග වෙලාවට එහෙම ඉන්න ඇත. මන්ද කන වෙලාවට ඕවා බලන්න වෙලාවක් නැති තරම් නිසාවෙන්ය. 

විනාඩි කීපයක් ගත වෙන්නට ඇත. දුලියා කඩන් පාත් උනේය. 

දුලියා: රජා දැන් ලෑස්තිද?

රජා: මොනාටද බං

දුලියා: ඇයි දන්නැද්ද...අද අශානයගේ පොටෝ ෂුට් එක

රජා: අම්මට සිරි එහෙමද...යමන් යමන්...

දුලියාගේ කාර් එක පිටිපස්සට දඩ බඩස් ගා බෑග් පහක් වැටුනි. පට් පට් ගාලා කාර් එක ස්ටාට් උනි. දැන් යන්න හදන්නේ බීච් එකටය. වින්ඩ්ස්ක්‍රීන් එකේ මීදුම බැදිලාය. දුලියාට පාර පේන්නේ නැත. මූ ඔටුවෙක් වගේ බෙල්ල දික්කරගෙන වාහනේ එලවන්නේය. මේ බල්ටියේ දුර යන්නත් කාර් එක ඕනෑය. ඒ දැන් කාලේ ට්‍රෙන්ඩ් එකය. 

තාමත් කුඩු පොදය. අපිට බැහැලා ඉන්න පුළුවන්ය. ඒත් දුලියාගේ කැමරාවට හෙම්බිරිස්සාව වැදෙයි කියා ඌ ඒක එලියට ගන්නේ නැත. අපි කාර් එක ඇතුලේ කොටු වෙලාය. බැරිම තැන එළියට බැස්සෙමු. ඉස්සරහා රතු පාට ටුක් ටුක් එකකි. කොල්ලෝ දෙන්නෙක් ඒක වටේට නිකන් මුරේට වගේ කැරකෙන්නේය. මොකක් හරි කුප්ප වැඩක් ඇතුලේ වෙනවාද කොහෙදය. අපිත් කෝකටත් රබර් ඇහැ දාගෙන හිටියෙමු. ටික වෙලාවකින් එළියට බැහැපු කෑල්ල දුටු ගයාශානයා මොනවද කුටු කුටු ගගා කියෙව්වේය. අනේ අම්මේ.....ඒක නම් ලොවෙත් එකක්ය. හොද ඇපල් කන්නේ පණුවොමයි කියන්නේ සහතික ඇත්තක් බව එකසිට පනස් වන වතාවටත් මට තහවුරු උනේය. මේ නම් පණුවෝ වෙන්න බැරිය. ගැඩවිල්ලුය. පණුවන්ගේ පොඩි මෙව්වා එකක් ඇත. ඒත් ගැඩවිල්ලු නම් ගුජුප්සාජනකය. 

බැරිම තැන ෆැබ් එක ඇතුලෙවත් පොටෝ අල්ලන්න කතා කරගත්තද ඒකටත් ගියේ නැත. කන්න හම්බෙන චාන්ස් එක මිස් උනේ එහෙමය. කොහොම හරි දුලියාව ඇදගෙන කාර් එකෙන් එළියට බැස්සෙමු. ඒ කරුමෙටත් කර ගහන්න උනේ වටේ හිටපු උන්ටය. කැමරාවට කුඩේ අල්ලගෙන වටේ යන්න උනේය. මුහුදේ ඈතට වහින්නේ නැත. ඒත් අපි  ඉන්න හරියට තාම කුඩු පොදය. අශානයා අයාගත් බලාපොරොත්තු දෑසින් දොඩවන්නේය. 

ඇතුලේ හිරවෙලා

අශාන්: අඩෝ අර මූද මැද්දට වහින්නේ නෑ. දැන් පායයි...

කාවින්ද: යකෝ ඔය මැද නෙමේ...මාලදිවයින හරියේ... 

ගයාශාන්: ඒ මාලදිවයින මේ පැත්තෙද?

රජා: ඔව් නේ බං.... මෙන්න මේ හරියෙනේ...

ගයාශානයගේ පොටෝ ගහන්න හෙනම ගේමක් දෙන්න උනේය. ඌට කියන පෝස් එකෙන් ඉන්නේම නැත.

දුලියා: පපුව ඉස්සරහට දාලා..සාක්කුවට අත්දෙක දාගනින්.

ගයාශානයා දැන් ඉන්නේ උරපතු දෙක වකුටු කරගෙනය. නිකන් කොරවක්කා වගේය. උරපතු දෙක දිග අරින්න යැයි කට්ටිය කෑගහන්නේය. ඒ පාර මූ උරපතු දෙක කොන්ද දිහාටම ගත්තේය. 

දුලියා: යකෝ තනේ පේනවා...ඔව්වර දිග අරින්න එපා.

මූ ක්ෂණික අත්දෙක එලියට අරන් වෙන පෝස් එකකට මාරු උනේය. හම්බෝ මුගෙ පොටෝ ගහන එකනම් පට්ට ආතල්ය. 


ඒවා මේවා අස්සේ කොහොමින් කොහොම හරි පොටෝ වැදුනේය. එක එක ඈන්ගල් වලින් එක එක විදිහේ ඒවාය. ගයාශානයයි, කාවින්දයයි කලින් මාරු උනේය. ඉතුරු උන අපි තුන්දෙනා ගලක් ගාව ඉදන් පොටෝ ටිකක් අල්ලන්න හෝටලේ පැත්තට ආවෙමු. ඔහොම පොටෝ ගගහා ඉන්නකොට හිගන්නෙක් ආවේය. 

හිගන්නා: අනේ බය වෙන්න එපා පුතේ...මට අවුරුදු 62යි. මේ බලන්න...අනේ දවල්ට කාලා නෑ පුතේ....කීයක් හරි දෙන්න පුතේ....


අපි: අපි ලගත් සල්ලි නෑ...යන්න යන්න....

හිගන්නා: අනේ එහෙම කියන්න එපා පුතේ...මේ බලන්න මට ලාදුරු...

අම්මට හුඩු මුගේ කකුලේ ඇගිලි හැලිලාය. ඒ මදිවට මූ අපි හිටපු රැල්ලටත් ආවේය. රජයි දුලියයි. පටස් ගාලා රැල්ලෙන් අහකට පැන්නේය. ඒක දැකපු අරෑට මලම පැන්නේය. 

හිගන්නා: ඔය කැමරා තියෙන උන් ඔක්කොම ඔහොම්මමයි කැ# හු#### පුතාලා. කීයක් වත් දෙන්න බෑ... අ#$!&%$&(()&%$%&%&(

මූ අපේ ජාතකේම අමතමින් යන්නට ගියේය. උගේ ජාතකේ අපි මුමුණමින් අපේ වැඩේ කරගෙන ගියෙමු. අන්තිමට එකෙක්ට උඩ පයින පොටෝ ගන්න ඕනෑවිය. පන එපා කියා උඩ පැන්නෙමු. උඩ පැනිල්ල කොහොමද කියනවානම් රජාගේ ඉපැරණි ෂර්ට් එකත් ඉරුනේය. අනේ අපරාදෙය. මම ආසම ෂර්ට් එකක්ය. අවුරුදු 4කට වඩා නම් ලොවෙත් පැරණිය. 

මේ දවස් වල එක දිගටම SMALLVILLE බලලා නිකන් තෝන්තුව වගේය. රාජගේ ට්‍රයි එක සුපිරි වීරයෙක් වෙන්නය. උල්කාපාත කෑලි කියලා හිතාගෙන තිරිවාන ගල් කාගෙන කාගෙන යන්නේ පවර්ස් ලබාගන්නය. එදා හවස කාපු ගල්කෑල්ල නම් ලෙසටම වැඩ කලේය. මාව දැන් හල්ක් වේගෙන එන්නේය. ඇදුම් ඉරාගෙන...එකෙක්ව උස්සලා පොලේ ගහන්න රජාට පුළුවන් උනේය. 

ජූනියර් හල්ක් (රජා)

හවස 4ට විතර කට්ටියම ආපහු බෝඩිමට සැපත් උනේය. එදා දවසෙන් අන්තිමට ඉතුරු උනේ පොටෝ හතර පහකුයි, ඉරිච්ච ෂර්ට් එකකුයි විතරය. ඒත් ඒ ගත්තු ආතල් එකනම් ලොවෙත්ය. මේවා අමතක වෙන්න කලින් ලියා තැබිය යුතුය. මන්ද මේවා කියෝනකොට ඇඩෙන්නේ තව අවුරුදු හතර පහකින්ය. 


ගරු රගපෑම්:

අශාන්, කාවින්ද, රජා, ගයාශාන්, දුලිත

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!