මේ ලගදී රජ පවුලට පොඩි ඉන්විටේෂන් එකක් ලැබුනේය. පොඩි කිව්වට එහෙම්මමත් පොඩි නැත. ඒෆෝ කොළ බාගෙකටත් වැඩිය ලොකුය. කොලේ ආවේ අපේ දේවාලේ මහ කපු උන්නැහැගෙන්ය. හෙන වසයක ඩයල් එකය. පොර ගෙදරටම ඇවිල්ලා දීලා ගිය එකය. ගෙදරට ඇවිල්ලා නිකන් දීලා ගියානම් කමකුත් නැත. ඒක දීලා, අතේ කඹයක් වගේ පිරිත් නූලකුත් බැදලා ගියේය. ඒ ඉතින් නොකියා කිව්වේ පුතේ...අනිවා වරෙන් කියලාය.
දේවාලේ ගැනත් මොනවා හරි කියන්නම ඕනෑය. නැත්තන් නිකන් හරි නැත. රජා ඉපදෙන්න කලින් ඉදලම ඔය දේවාලෙට යන්නේය. ඒ කියන්නේ රජා කලලෙ ඉදන් දේවාලේ අදුරන්නේය. පොඩි රජා ඉස්සර දේවාලෙට යන්නේ මාරම කැමැත්තෙන්ය. මොකද කපු සීයා ගාථා කියන ගමන් පළතුරු වට්ටි වලින් මිදි, ඇපල් ගෙඩි එහෙම රජාට දෙන්නේය. කෑම කිව්වොත් ඉතින් අපි සත්තු වගේය. සුවද දැනුනද එතනය. ඒක ඉස්සර ඉදන් එහෙමය. අනික අපේ මව්තුමිය ගෙනියන පළතුරු වට්ටියට එහෙම් පිටින්ම වග කියන්නේද මමමය.
සිස්සත්තේ, සා/පෙ, උ/පෙ ඔක්කොම කරන්න කලින් අපි හැමදාම ඔතෙන්ට ගිහින් ආශිර්වාද ගත්තෙමු. මම නං ආසම සීන් එක පොල් ගහන එකය. ඉස්සර පොඩි රජාට පොල් ගෙඩිය ගහ ගන්න පණ නැත. ගැහුවට ඒවා බිදුනේ නැත. මම ඉතින් කලේ පැත්තකට වෙලා අනිත් මාමලා, නැන්දලා, අයියලා පොල් ගහන හැටි බලන් හිටපු එකය. ඒකත් පට්ට ආතල්ය. ලගට වෙලා හිටපුවාම ගපහු පොලේ වතුර පාර චිරිස්...ගාලා මූණෙය. ඒ පොල් වතුර අනිත් පොල් වතුර වලට වඩා මාර රහය. බාග විට දෙයියෝ මතුරලා හින්දද කොහෙදය :)
දැන්නම් පොල් ගෙඩිය ලෙසටම ගහන්න පුළුවන්ය. ෆුල් ඩම් එක දාලා පටෝ...රියන් ගාලා කෙලල ඇරපුවාම පොල් ගෙඩිය කුඩේ කුඩුය. පොල් මුඩ්ඩ විතරක් ඉතුරුය. කට්ට ලොවෙත් නැත.
ආරාධනාව ආවේ දේවාලේ ශාන්තිකර්මයක් බලන්න යන්නටය. හතට විතර අපි දේවාලෙට ගියෙමු. වැඩේ පටන්අරන්ය. වැඩි වෙලාවක් ගිහින් නැත. ඒ උනාට සූ........ගාලා සෙනගය. ඔවුන් අස්සෙ රිංගන්න ගිහින් පදේ අහගන්නවට වඩා පැත්තකට වෙලා ෂේප් එකේ බලන එක හොදය. දන්නවනේ ගම් වල ආච්චි අම්මලගෙ කටවල්!!!
නැට්ටුවෝ ටිකනං පංකාදු පහය. උන්ට නටන්න කලින් රෙඩ්බුල් දීලද කොහෙදය. උන් නටනවා නෙමේ පාවෙනවාය. බෙර ගහන උන් ඊට එහාය. මම නං හිතුවේ බෙරේ දැන් පැලෙයි...දැන් පැලෙයි...කියලාය. ඇයි දෙයියනේ මුන් කෙලිනවා ඒකට දඩ දඩ ගාලා. ඔළුව කරකෝ කරකෝ ගහන්නේ. බලන් ඉදලා මට මඤ්ඤං. ටික වෙලාවකින් පන්දමට දුම්මල ගහන්න ගත්තේය. ඒකනං පිස්සු පහර ඈ...ගින්දර පාර යනවා හෝ...ස් ගාලා. හෙන වෙලාවක් බලන් මම හිටියෙමි. කකුල් දෙක රිදෙන හින්දා පැත්තකට ඇවිත් ඉදගත්තෙමි.
මේ නැට්ටුවා එක විදිහකට හිටියෙම නෑනේ |
කුලප්පුව...පොටෝවට අහුවෙලත් නෑ :/ |
ඉදගත්තෙත් එසේ මෙසේ තැනක නොවේය. ඒකත් තේ මේසෙ ලගමය. පොඩි පොඩි කෙල්ලෝ තේ උස්සන් එහෙ මෙහෙ යන්නේය. මමත් ඉතින් බලන් හිටියේ දැන් එකක් අල්ලයි දැන් අල්ලයි කියලාය. කොහෙද...මෙච්චර ලග ඉදලා එකෙක් මට තේ එකක් දුන්නේ නැත. බැරිම තැන A/Level ඉවරයි එකේ සින්දුව මුමුණු මුමුණ හිටියෙමි. ඒක අර බෙර කාරයෝ ගහන තාලෙටම සෙට් උනේය.
මං ගමේ කොල්ලා....
ගම එපා වෙලා....
කොළඹට ආවේ....
පෙට්ටගම කඩලා...
වෙලාව දහයටත් කිට්ටු උනේය. තාම කන්න නැත. මම කපුමහත්තයගෙ අම්මට කියලා හැෂ්ටැග්(#) එකක් දාන්න හදද්දිම අන්න එනවා ලස්සන අක්කා කෙනෙක් වතුර අල්ලගෙන. මට වතුර අල්ලන්නත් කලින්ම මම ගිහින් පෝලිමේද කොහෙදය. එච්චරට බඩිගිනිය. කෑම ටිකනං පංකාදු පහය. හත්මාළුවක් තිබ්බා...ලොවෙත් ඈ. දැක්කහමනං හිතෙන්නේ ක්ෂණික බඩයෑමක් සෙට් වෙයි කියලාය. ඒ උනාට මාරම රහය.
දෙයියන්ගේ කෑම හින්දා අහක දාන්න හොද නැත. උස්මුරුත්තාවට එනකං කාලා කාලා වතුර බොන්න ආවෙමි. සින්ක් එක ලග එකම හිනා සාගරයය. ශාන්තිකර්මේ කවි කියන ගුරුන්නාසෙට වඩා හයියෙන් කට්ටිය හිනා වෙන්නේය. මමත් වතුර එකක් බිබී පොඩ්ඩක් ඔළුව දැම්මේ පෝස්ට් එකකට හරියන කතාවක් සෙට් වේගෙන එනවා වගේ ඉවක් ආපු නිසාය. පොඩ්ඩක් අස්සෙන් ඔළුව දැම්මෙමි.
අම්මටසිරි ලෙසටම ගහපු වයසක ඩයල් එකක් බෙර පද තාලෙට නටන්නේය. කන සාක්කුවට පෝඩ්ඩක් උඩින්ය. සරමත් කැහැපොට කවාගෙනය. සරම තව ටිකක් ඉස්සුනානන් එහෙම ආච්චිලා ටික ඌව උස්සගෙන යන ලයින් එකක් තිබුනේය. අඩෝ මූ හෙන ශාස්ත්‍රීය ලෙස නටන්නේය. එක පාරටම බෙර ගහන උන්ගේ ටෙම්පෝ එක වැඩි උනේය. දැන් දඩි බිඩි ගාලා බෙර පද යන්නේය. සීයාකාරයා නටාගෙන නටාගෙන ගියේය. අම්බෝ....ඒකනං සිරාම ලොල්ය. කොච්චර පජාතද කියනවානම් මට වතුර ඉස්මොල්ලේ ගියේය. වතුර නහයෙන් ආවේය. බත් ඇට දෙකකුත් නහයෙන් ආවාද කොහෙදය.
බොහොම අමාරුවෙන් අනිත් උන්ගේ ඇගේ වතුර හලන්නේ නැතුව මම මාරු උනෙමි. එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා ගෙදර ආවෙමි. ශාන්තිකර්මේ බැලුවට වඩා කලේ අහල පහල වෙච්ච විකාර බැලුව එකය. අර බෙර සද්ද අස්සේ ඉදලා තාම නිකන් කන ඇතුලේ එකෙක් බෙර ගහනවා වගේය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!